නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කිරීමට සැලසුම් කර තිබූ සමරු මුද්දරය හා මුල්දින කවරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිල මුද්‍රා තැබීමට මෙතෙක් කටයුතු නොකිරීම නිසා අදාළ මුද්දරය හා මුල්දින කවරය මෙතෙක් නිකුත් කිරීමට නොහැකි වී තිබේ.
පෙබරවාරි 04 වැනි දිනට යෙදී තිබූ 70 වැනි නිදහස් දින සැමරුමේදී සැමරුම් මුද්දරයට හා මුල්දින කවරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිල මුද්‍රා තැබීමට නියමිතව තිබිණි.
එහෙත් එදින එම කටයුත්ත සිදු නොවූ අතර, මීට අමතරව මෙතෙක් ඒ සඳහා නිලමුද්‍රා තැබීමක් සිදුකර නැතැයිද මුද්දර එකතු කරන්නෝ සඳහන් කරති.
නිලමුද්‍රා තබනතුරු මෙම මුද්දරය හා මුල්දින කවරය අලෙවිය සඳහා නිකුත් නොකරන බවද එම පිරිස් පෙන්වා දෙති.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත්වී 70 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් සමරු මුද්දරය හා මුල්දින කවරය සකස් කර තිබෙන බවද වාර්තාවේ.
එහෙත් මැතිවරණය ඇතුළු පසුගිය සති කිහිපයේ ජනාධිපතිවරයා අධික ලෙස කාර්යබහුල වීම නිසා සැමරුම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිත මුද්දරය සහ මුල්දින කවරයට නිල මුද්‍රාව තැබීම සඳහා වේලාවක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවද සඳහන් වේ.