ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති හා අනුශාසක අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම නායක හිමිපාණන්වහන්සේගේ අපවත් වීම ශ්‍රී ලංකා වාසී අප සැමට මහත් සංවේගදායක අවස්ථාවකි. උන්වහන්සේ සුවිශේෂ ශාසනික, සමාජයීය මෙහෙවරක් ඉටු කළ නිහතමානී, ශ්‍රේෂ්ඨ යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි.
අප නායක ස්වාමින් වහන්සේ ත්‍රිපිටකය ප්‍රගුණ කරමින් වණපොත් කළ, ශීල, සමාධි, ප්‍රඥා වැඩවූ, නිහඬ නමුත් උත්තරීතර ධර්ම සේවයක නිරත වූ මහා සිල්වත් තෙර නමකි. ත්‍රිපිටකය කටපාඩමින් දැන සිටි, එසේම ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතු වූ දුර්ලභ ස්වාමින්ද්‍රයාණන් වහන්සේ නමකි. පාලි, සකු, හෙළ බස මෙන්ම ඉංග්‍රීසි බස ද මනාව හැසිරවූ අරියධම්ම නාහිමිපාණෝ අභිධර්මය, සමථ - විපස්සනා භාවනා, පාලි බස ආදී ධර්ම විෂය සම්බන්ධයෙන් අගනා ග්රන්ථ රැසක් සම්පාදනය කළහ.
ශ්‍රී කළ්‍යාණී ධර්මාශ්‍රමය කේන්ද්‍ර කරගනිමින් මහා ශාසනික සේවාවක නිරත වූ උන්වහන්සේ ගැඹුරු අභිධර්ම කරුණු ඉතා සරලව සැදැහැවත් ජනතාවට පහදවා දීමෙහි සමත් විශිෂ්ඨ ධර්ම කථිකයකු ලෙස සැදැහැවත් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූහ. එසේම තෛනිකායික සමඟිය අගයමින්, ඒ සඳහා කැපවෙමින්, සම මෙත් සිතින් සියල්ලන් සමඟ කටයුතු කළ උන්වහන්සේ සමස්ත භික්ෂුන් වහන්සේලා ගේ නොමඳ ආදරයටත්, ගෞරවයටත් බඳුන් වූහ.
වසර 77 ක් වූ පැවිදි දිවියේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත්, සම්බුද්ධ ශාසනයටත්, රට දැයට සහ සමස්ත සමාජයටත් අරියධම්ම ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ඉටු කළ මෙහෙවර අතිශය අගය කටයුතු ය.
බුදු සසුනත්, සංඝ සමාජයත් බැබළවූ, පරමාදර්ශී, සුපේශල ශික්ෂාකාමී උතුම් සඟමිණක් වූ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති හා අනුශාසක අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම නායක හිමිපාණන්වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනය කරමි.