නව මැතිවරණ ක්‍රමය පිළිබඳව පක්ෂ නායකයන් අතර අද (11දා) පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සැලසුම් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අද පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවහොත් නව මැතිවරණ ක්‍රමයක් සහිත කෙටුම්පත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 13 වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
නව මැතිවරණ ක්‍රමය පිළිබඳව සුළු පක්ෂ විවිධ යෝජනා ගෙන ඒම නිසා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ගැටලුවක් වී තිබෙන අතර, මේ පිළිබඳව ඊයේ (10දා) රාත්‍රියේදීත් සුළු පක්ෂ 29 ක් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡා කර ඇත.
අද දිනයේදී සියලුම පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර අවසන් සාකච්ඡාව සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර, එය අසාර්ථක වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටින බවද වාර්තා වේ.
මේ පිළිබඳව ඊයේ (10දා) ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තම පක්ෂයට පොරොන්දු වූ බවයි.