නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජෙනරාල් කපිල වෛද්‍යරත්න මහතා අද (06දා) ආරක්ෂක අමාත්‍යංශයේදී ආගමික වතාවත්වලින් අනතුරුව සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන කපිල වෛද්‍යරත්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙකු මෙන්ම, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.
මීට අමතරව ඒ මහතා කොළඹ නීති විද්‍යාලයේ නීති උපාධිය ලබා නීතිඥවරයෙකු ලෙස කටයුතු කර තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ පිළිබඳ අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙකු ලෙස වසර ගණනාවක් සේවය කර තිබේ. ෆිජි රාජ්‍යයේ ආරාධනාවකට අනුව එරට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ. වර්ෂ 2015 දී හෙතෙම ජනාධිපති නීතිඥවරයෙකු ලෙසද පත්කරනු ලැබීය.
රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග කෙටි සාකච්ඡාවකද නිරත විය.