ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි රජයේ ප්‍රථම අයවැය අද (10දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, එරට ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනයක් සමග ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්කිරීමේ පොරොන්දුව මුදල් ඇමති අරුන් ජෙත්ලි ලබාදී තිබේ.
භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ප්‍රබල සාධකයක් වූයේද වසර දෙකක කාලයක් පමණ පැවති මන්දගාමී ආර්ථික වර්ධනය හේතුවෙන් ඉන්දියානුවන් කෝප ගැන්වී සිටි නිසාය.
නව රජයේ ප්‍රථම අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති අරුන් ජෙත්ලි පවසා සිටියේ රජය බදු ප්‍රතිපත්තිය ප්‍රතිසම්පාදනය කරන බවය. එමෙන්ම, රක්ෂණ සහ ආරක්ෂක වැනි ප්‍රධාන අංශවල විදෙස් ආයෝජන සඳහා ඉහළ සීමාවන් පනවන බවද ඔහු කියා සිටියේය.
මීට අමතරව නව අයවැයෙන් ඉන්ධන, ආහාර සහ පොහොර ආදියට ලබාදී ඇති සහන මිලෙහි වෙනසක් ඇති විය හැකි බවටද මුදල් ඇමතිවරයා ඉඟියක් කළද, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීමක් කර නොතිබිණි.
ආසියානු කලාපයේ ප්‍රබල රාජ්‍යයක් ලෙස නැගී සිටින ඉන්දියාව තම ආරක්ෂක වියදම් තවදුරටත් ඉහළ නංවමින් ඇ.ඩොලර් බිලියන 50ක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙන් කර තිබුණද, ආදායම් බදුවල කිසිදු වෙනසක් සිදු නොකළ බවද මුදල් අමාත්‍යවරයා නව අයවැය ඉදිරිපත් කරමින් පවසා සිටියේය.