ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර දේශපාලනයට පැමිණීම පිළිබඳව විවිධ කටකතා පසුගිය කාලයේදී පැතිර ගියේය. ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීම පිළිබඳව තීරණය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඔහුගෙන් මේ බව විමසා සිටියේය.
Q සංගා දේශපාලනයට එනවා කියන කතාවක් තියෙනවා.
ඔව් මටත් ආරංචියි කලා වැව පැත්තෙන්ද කොහේද එනවා කියලා. එහෙම දෙයක් මම නම් දන්නේ නෑ. මටත් කවුරුහරි කියපු දෙයක් තමයි ඒ. හැබැයි එහෙම දෙයක් මගේ හිතෙත් නෑ. මම දන්නෙත් නෑ. මම ඉන්දියාවේ තරග දෙකකටත් එනවා. ඡන්ද වැඩ කරනවානම් ක්‍රිකට් ගහන්න අමාරුයි. මම හිතන්නේ දේශපාලනයට සුදුසු කට්ටිය ඉන්නවා. නමුත් මම ඒ අතරට වැටෙන්නෙ නෑ.
Q කවදාවත්ම නෑ කියලද කියන්නේ?
මම හිතන්නෙ කවදාවත්ම නෑ කියන්න හොඳ නෑ. මොකද එහෙම කිව්වාම සමහර වෙලාවට තීරණ වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා මම කියන්නෙ මගේ බලාපොරොත්තුවක් නෑ දේශපලානයට එන්න. මගේ අදහස නම් ඕනෑම විදියකින් මගේ කණ්ඩායමටත්, ක්‍රිකට් ක්‍රීඩාවටත් සමාජයටත් උදව් කරන්න පුළුවන් දේශපාලන වේදිකාවට ඒන්නේ නැතිව.
Q දේශපාලන පක්ෂවලින් ඇරයුම් ලැබිලා තියෙනවද?
මම හිතන්නේ එහෙම කියන්න බෑ. දේශපාලනය කියන්නේ ඉතාමත් විශේෂිත වූ ක්ෂේත්රයක්. ඒකට විශේෂයෙන්ම කැපවීමක් ඕන. දැනුමක් ඕන. ඒ සුදුසුකම් තාම මට නෑ කියලා හිතන්නේ.
ඡායාරූප - ශාන්ත රත්නායක