දේශපාලඥයින්ට හා අපේක්ෂකයින්ට භාණ්ඩ බෙදීම සපුරා තහනම්
මැති ඇමතිවරුවන් ඇතුළු කිසිදු දේශපාලඥයෙකුට හෝ අපේක්ෂකයෙකුට රජයේ ප්‍රතිපාදනවලින් හෝ පෞද්ගලික මුදලින් මිලදී ගෙන තිබෙන භාණ්ඩ බෙදාදීමේ කිසිම වැඩසටහනකට මැතිවරණ කාලය තුළ සහභාගි විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
රජයේ ප්‍රතිපාදනවලින් මිලදී ගෙන තිබෙන භාණ්ඩ ගබඩා කරගැනීමේ පහසුකම් නොමැති නම් හෝ මැතිවරණය අවසන් වනතුරු එම භාණ්ඩ තබාගැනීමට හැකියාවක් නොමැති නම් කොමිෂන් සභාවේ අවසරය මත රාජ්‍ය නිලධාරීන්ට භාණ්ඩ බෙදාදිය හැකි බවද එම මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
එහෙත් අදාළ භාණ්ඩ බෙදාදීමේදී කිසිදු දේශපාලඥයෙකු හෝ අපේක්ෂකයෙකු සහභාගි කරගැනීම සපුරා තහනම් බවදඔහු පවසා සිටියේය.
අදාළ භාණ්ඩ බෙදාදීමේදී දේශපාලඥයෙකු,අපේක්ෂකයකු මැදිහත් වුවහොත් හෝ දේශපාලඥයන්ගේ බලපෑම මත අදාළ කටයුත්ත සිදුකළ බවට පෙනී ගියහොත් අදාළ නිලධාරියා රාජ්‍ය දේපොළ අයුතු පරිහරණය සම්බන්ධව වරදට යටත් වන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා මැතිවරණය ප්‍රකාශයට පත්වීමට පෙර රාජ්‍ය ප්‍රතිපාදනවලින් ලබාගත් භාණ්ඩ බෙදාදීමක් සිදුකිරීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවෙන් අවසර ගත යුතු බවත්, මිලදී ගෙන තිබෙන භාණ්ඩ පෙබරවාරි 15 න් පසු බෙදාදීමට නිලධාරීන් උත්සාහ ගත යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
මැතිවරණ කාලයේදී රාජ්‍ය මුදල්වලින් භාණ්ඩ මිලදී ගෙන භාණ්ඩ බෙදාහැරීමට උත්සාහ කරනවානම් තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලා සිටිය යුතු බවදසභාපතිවරයාකියා සිටියේය.
ලැයිස්තු සකස් කිරීමට දේශපාලන මැදිහත්වීමක් සිදුව තිබෙනවානම් අල්ලස් වරද යටතේ එම දේශපාලනඥයාට විරුද්ධව කටයුතු කිරීමට ජනතාවට හැකියාව තිබෙන බවද මහින්ද දේශප්‍රිය මහතාපවසා සිටියේය.
යම් දේශපාලඥයෙක් හෝ අපේක්ෂකයෙක් තමන්ගේ පෞද්ගලික මුදලින් හෝ තමන්ගේ උපන්දිනය මුල් කරගෙන හෝ ඥාතියෙකුට පිං පතා හෝමැතිවරණ සමය තුළභාණ්ඩ බෙදාදීමක් සිදුකළහොත් එයද වරදක් බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
අපේක්ෂකයෙකු හෝ දේශපාලඥයෙකු විසින් රාජ්‍ය දේපොළ බෙදා හැරියහොත් එය රාජ්‍ය දේපොළ අයුතු පරිහරණය යටතට ගැනෙන අතර, පෞද්ගලික මුදලින් භාණ්ඩ බෙදා හැරියහොත් එය අල්ලස් පනත යටතේ වරදක් බවත්, මේ නිසා ඡන්ද විමසීම් පනත යටතේ අල්ලස් ලබාදීමේ වරදට යටත් වන බවත් ඒ මහතා කියා සිටියේය.
මෙවැනි වැරදි සිදුකළහොත් ඒ පිළිබඳ අමතර ක්‍රියාමාර්ග ගැනීම පොලීසිය සතු වගකීමක් බවත්, මෙවැනි ක්‍රියා සිදුවනවා නම් ඒ පිළිබඳ ජනතාව ළඟම පොලීසියට පැමිණිලි කළ යුතු බවත් කී හෙතෙම එසේ නොමැති නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ මැතිවරණ මහලේකම් කාර්යලයේ පැමිණිලි ඒකකයට පැමිණිළි කළ හැකි බවද ප්‍රකාශ කළේය.
නිලධාරීන් මැදිහත්ව භාණ්ඩ බෙදාදීමට ඉල්ලීමක් කළහොත් එහිදී අවසරය ලැබෙන්නේ මැතිවරණය අවසන් වනතුරු ගබඩා කරගෙන සිටිය නොහැකි කුකුළු පැටවුන්,ගව පැටවුන්,විසිතුරු මසුන්,මල් පැළ,පොල් පැළ,කුරුඳු පැළ,තේ පැළ,රබර් සහනාධාර වැනි ද්‍රව්‍යවලට පමණක් බවද මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් සඳහන් කළේය.
අඳාල අවසරය ලබාදීමේදී භාන්ඩ මිලදී ගැනීමට මුදල් වෙන් වු දිනය වැනි කාර්යන් ගැන විශේෂ කරුණු පිළිබදව සලකා බලන බව මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
පොදුවේ රාජ්‍ය මුදලින් හෝ පෞද්ගලික මුදලින් ඡන්ද විමසීම් කාලය තුල භාන්ඩ මූල්‍ය ආධාර බෙදා දීම දේශපාලනඥයිට අපේෂකයින්ට සම්පූර්ණයෙන් තහනම් බවද හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


