ගංවතුර හා නායයෑම් හේතුවෙන් මෙතෙක් හානියට පත් දේපළවල වටිනාකම පිළිබඳව පූර්ණ තක්සේරුවක් සිදුකර නොමැති වුවද, රු. කෝටි
15,000 ත් 25,000 ත් අතර මුදලක් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වැය වෙතැයි අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
එමෙන්ම, කොළඹට බලපෑ ප්‍රබල ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව අනවසර ඉදි කිරීම් බවත්, කැලණි ගඟ දෙපස ඇති මෙම ඉදි කිරීම හේතුවෙන් මෙවැනි අවස්ථාවල සහන කටයුතු සිදුකිරීමට පවා බාධා මතුව ඇති බවත් මුදල් අමාත්‍යවරයා පවසා සිටියේය. අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (23දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පවුල් 33,000කට අයත් පුද්ගලයන් 105,000ක් සිය නිවාසවලින් ඉවත් කිරීමට සහන කණ්ඩායම් කටයුතු කර තිබුණි. කොළඹ ගංවතුරින් වැඩිම බලපෑමක් එල්ල වූයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වන අතර, එහි ජීවත් වූ පවුල් 20,000කට අයත් පුද්ගලයන් 80,000ක් පමණ ගංවතුරෙන් පීඩාවට පත්ව තිබුණි.
එමෙන්ම, ආපදා සහන සේවා කටයුතුවලදී දිවා රෑ නොබලා කටයුතු කළ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසංශා කළ අමාත්‍යවරයා කියා සිටියේ සහනාධාර රැගෙන පැමිණි ඇතැම් කණ්ඩායම්වලට සහන කටයුතුවලදී බාධාවක් වූ බවයි.
මීට අමතරව, පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබෙන ආධාර කිසිඳු මැදිහත්කරුවෙකු නොමැතිව ජනතාව අතට පත්කිරීමට සූදානම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි පාර්ශ්ව සිටී නම් ඔවුන්ව හෙළදරව් කිරීමේ වගකීම මාධ්‍ය සතු බවත්, එවැනි පාර්ශ්වයන්ට දියහැකි උපරිම දඩුවම ලබාදීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර, කොළඹ වැඩබලන පුරපති ටයිටස් පෙරේරා, කොළඹ උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ යන මහත්වරු සහ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහභාගී වූහ.