වවුනියාවේ සිට මාතර දක්වා ගමන්ගත් ශීඝ්‍රගාමී දුම්රියක් හික්කඩුව දුම්රිය ස්ථානය පසුකර ධාවනය වෙමින් තිබියදී වවුලගල ප්‍රදේශයේදී අද (30දා) දුම්රිය එන්ජිමේ කාර්මික දෝෂයක් හේතුවෙන් ලිහිසි තෙල්පිටතට විදීම නිසා ගිනිගැනීමකට ලක්වී තිබේ.
එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ දුම්රිය රියදුරු සහ සහායක විසින් දුම්රිය නවත්වා ගිනි නිවන උපකරණ ආධාර කරගෙන එම ගින්න නිවා දමා සිදුවීමට තිබූ විශාල අනතුරක් නවත්වාගෙන ඇත.
කෙසේ වෙතත් එන්ජිමේ පැති දොරක් එම ගින්න නිසා අර්ධ වශයෙන් පිළිස්සී ඇති අතර,ලිහිසි තෙල්දුම්රිය මාර්ගයේ මීටර් තුන්සීයක් පමණ දුරක් විසිරී තිබේ. දුම්රියේ පළමු මැදිරියේද පැත්තක එම ලිහිසි තෙල් වැදී දුර්වර්ණ වී තිබේ.
දුම්රියේ පැමිණි මගීන් කොටසක් වෙනත් පොදු ප්‍රවාහන සේවා මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගත් අතර, ගාල්ල දුම්රිය ස්ථානයෙන් වෙනත් එන්ජිමක් පැමිණ දුම්රිය මැදිරි සවිකර මාතර බලා ගමන් කරනු ලැබිණි.
මේ නිසා වෙරළබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සහ අලුත්ගම අතර දුම්රිය ගමනාගමනය පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව පාලක මැදිරිය පවසයි.
රවීන්ද්‍ර ශ්‍රීලාල්