මව හෝ පියා දුම්බීමට ඇබ්බැහි වූවෙකු නම්, දුම්පානය කරන දෙමවුපියන් අසල සිටින දරුවන්ගේ රුධිර සංසරණ පද්ධතියට එය දැඩි හානියක් සිදුකරන බවත්, ඒ හේතුවෙන් දරුවන්ගේ රුධිර වාහිනී කල්තියා වයස්ගත වීමක් (වසර තුනකින් පමණ) සිදුවන බවත් පර්යේෂණයකින් හෙළි වී තිබේ.
රුධිර වාහිනී බිත්ති ඝන වීම ඉන් සිදුවන හානිය ලෙස පෙන්වා දෙයි. එය දරුවන්ගේ ජීවිතයේ පසුකාලීනව හදෘයාබාධ හා ආඝාත තත්ත්වයන් ඇතිකිරීමේ අවදානම වැඩි කරන්නක් බව මෙම පර්යේෂණ වාර්තාව උපුටා දක්වමින් යුරෝපියන් හාට් ජර්නලය අවධාරණය කරයි.
එම පර්යේෂණය සඳහා වයස අවුරුදු 3 – 18 ත් අතර වයසේ දරුවන් 2,000කට අධික පිරිසක් යොදාගෙන තිබුණු අතර, ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් අයෙකු හෝ දෙදෙනාම දුම්පානයට ඇබ්බැහි වූවන් විය.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ තවත් අයෙකුගේ දුම්පානයට නිරාවරණය වීමේදී කිසිදු ආකාරයක ආරක්ෂක සීමාවක් නොමැති බවයි.