හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කරන සහ ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ක්රිෂ්ණ දෙවිඳුන් පිදීම මූලික කරගත් දීපාවලි දිනය අදට (10දා) යෙදී තිබේ.
'අධර්මය පරදවා ධර්මය ජයගැනීම' සංකේතවත් කිරීම සඳහා පහන් දල්වමින් දීපවාලී දිනය සමරනු ලබයි.
මේ වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ, ලෝකය යහපත් තැනක් බවට පත් කිරීම සඳහා මානව ශිෂ්ටාචාරයේ ඈත යුගයන්හි පවා මිනිසා තුළ පෙළඹවීමක් පැවැති බව වර්තමානයේ දීපාවලි උත්සවය තුළින් දකින අකාලික සත්‍යය බවයි.
පහන් වැටක් දැල්වීම තුළින් බිහිවන ආලෝකය, අඳුර පළවාහරින්නා සේ දීපවාලියේ ආලෝකය, සියලු මිනිස් සිත් ආලෝකමත් කරමින්, ඔවුන් තුළ දල්වන සාමූහික සංහිඳියාව ලොව සෑම ශිෂ්ටාචාරයකටම අයත් මිනිසුන්ගේ පොදු ප්‍රාර්ථනාව බවට පත්වන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කරයි.
එය බෙදීම්වලින් තොර, සාමූහිකත්වය රජයන ලෝකයක පැවැත්ම සඳහා අවශ්‍ය මූලික කොන්දේසියක් බවද, මෙවන් පූජනීය සිරිත් විරිත් ඔස්සේ මිනිසාගේ ආධ්‍යාත්මය පිරිපහදු වන බැවින් දීපවාලි වැනි උත්සව ඒවායේ මහාසාර ගුණ යහපත්කම් සමග අනාගතය කරා රැගෙන යාම වැදගත් බවද ඒ මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දීපාවලි සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් පවසන්නේ, මිනිසා තුළ පවතින අයහපත නමැති අන්ධකාරය පළවා හැර යහපත නමැති ආලෝකය දල්වාගත යුතු බවයි.
දෙවියන් ගැන මහත් වූ භක්තියෙන් දීපවාලි දින සිදුකරන පුද පිළිවෙත් හරහා තමා තුළ පවතින මමත්වය, තණ්හාව, ඊර්ෂ්‍යාව වැනි අකුසල් සිතුවිලි ඉවත් වී යහපත උදාකරගත හැකි බව හින්දු ධාර්මික විශ්වාසය බවත්, ඒ අනුව මෙය හින්දු බැතිමතුන්ට පමණක් නොව සමස්ත ජනතාවටම ආදර්ශයක් සපයන ආගමික උත්සවයක් බවත් අගමැතිවරයා කියා සිටියි.
එමනිසා සියලු හදවත් මනුෂ්‍යත්වයෙන් දල්වාගෙන ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව, ජාති ආගම් භේද දුරලා, සාමයෙන් සතුටින් ජීවත්වන්නට අදිටන් කරගත යුතු බවද වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කර සිටියි.
'