පොලිස්පතිවරයාගේ නියෝග මත දිවයින පුරා පවතින පොලිස් ස්ථාන එක්ව මෙම මස 01දා සිට 02දා දක්වා සිදුකරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය අද (02දා) සඳහන් කරයි.
මෙම මෙහෙයුම් කාලය තුළ ජංගම මුර සංචාර, පාමුර සංචාර, යතුරුපැදි සංචාර මෙන්ම සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක යොදා රථවාහන හා පුද්ගලයන් පරීක්ෂා කරන ලද බවත් පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව මෙම මෙහෙයුම තුළින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් 1056ක්, වරෙන්තුකරුවන් 651ක්, අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් 17ක්, මත්කුඩු හා මත්ද්‍රව්‍ය ළඟතබා ගත් 359ක්, නීතිවිරෝධී මත්පැන් ළඟ තබාගත් 258ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ හා රිය අනතුරු නිවාරණය මුල්කර සංවිධානය කර තිබූ මෙම මෙහෙයුම් කාලය තුළ බීමත් රියදුරන් 376ක්, රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කළ රියදුරන් 291ක්, අන්තරාදායක සහ අනතුරුදායක ලෙස රිය ධාවනය කළ රියදුරන් 139කටද නීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම විශේෂ පොලිස් මෙහෙයුම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරී ශ්‍රේණියේ නිලධාරීන් 136ක්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 1819ක්, සෙසු නිලධාරීන් 11139ක් ඇතුළු නිලධාරීන් 13092ක් සහභාගි වූහ. මීට අමතරව පොලිස් නිල සුනඛයන්ද මෙම මෙහෙයුම සඳහා යොදාගෙන ඇත.
විශේෂයෙන් ඉදිරියේදීද මෙවැනි විශේෂ පොලිස් මෙහෙයුම් දීප ව්‍යාප්තව සිදුකරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.