දිවිනැඟුම සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයෙහි ආරවුල් රැසක් සිදුවී ඇති බවත් සුදුසුකම් සපුරා ඇති ඉල්ලූම්කරුවන් වෙත අපේක්ෂකත්වය අහිමිවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොකර එම විභාගය පැවැත්වීමේ සුදානම තරයේ හෙළා දකින බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේබව පවසයි. එම විභාගයේ ක්‍රියා පටිපාටිය නියමාකාරයෙන් සිදු නොවී ඇති බව පවසන එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.
මෙම මස 18 වන දින දිවයින පුරා විභාග ශාලාවන්හි පැවැත්වීමට නියමිත දිවිනැඟුම සංවර්ධන නිලධාරී පස් වන ශ්‍රේණියට බදවා ගැනීමේ තරග විභාගයෙහි පහත සඳහන් ගැටළු නිරාකරණය නොකර විභාගය පැවැත්වීමට බලධාරීන් උත්සහ කිරීම අප සංගමය තරයේ හෙළා දකින්නෙමු.
දෙමළ මාධ්‍යයෙන් විභාගය ඉල්ලූම් කරන ලද අයදුම් කරුවන් බොහෝ දෙනෙකු වෙත සිංහල මාධ්‍යයෙන් විභාගය ලිවීමේ අපේක්ෂකපත ලබා දීම, විභාගය ඉල්ලූම්කරන ලද අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති විශාල ප්‍රමාණයකට එහෙත් විභාගය ලිවීමේ අපේක්ෂකත්වය අහිමි කිරීම හා ඉල්ලූම් කරන ලද දිස්ත්‍රික්කය වෙනුවට දුර බැහැර වෙනත් දිස්ත්‍රික්කයන් ලබා දීම යන මුලික ගැටළු මෙතෙක් නිරාකරණය කිරීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇත.
විභාග ඉල්ලූම්කරුවන් වෙත ඉහත ගැටළු පවතින බව පිළිගනිමින් ගැටළු නිවරැදි කිරීමට මෙම විභාගය පවත්වනු ලබන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගීන් 011-3132496 හා 011-5929793 යන දුරකථන අංක දෙක ප්‍රසිද්ධ කළද එම අංකහට ඇමතුමක් ලබා ගැනීමට පවා දුෂ්කර මෙන්ම ඔවුන් විසින් ගන්නා ලද උත්සහයන් කිසිසේත් ප්‍රමාණවත් වී නොමැති බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු.
තවද exteríl.sjp.ac.lk අන්තර්ජාලය හරහා නිවරැදි කර ගැනීමට අවස්ථාවක් සලසා දී ඇතත් ගැටළු පවතින සංඛ්‍යාවේ ප්‍රමාණය ඉහළ බැවින් එම අවස්ථාද කිසිසේත් ප්‍රමාණවත් වී නොමැති බව වැඩිදුරටත් අප මෙයින් පෙන්නා දෙන්නෙමු.
2016.01.14 දින දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි අධ්යක්ෂ ජනරාල්ගේ නියමය පරිදි පල කරන ලද ගැසට් නිවේදනයට අනුව 2,05,000 ආසන්න අති විශාල අපේක්ෂක පිරිසක් මෙම විභාග ඉල්ලූම් කර තිබුණි.
එයින් සුදුසුකම් සපුරා තිබෙන 50,000 ආසන්න විශාල පිරිසකටවත් පාලනාධිකාරියේ දුර්වලතා මත 18 වන දින විභාගය ලිවීමේ අවස්ථාව අහිමි කර ඇති බව අප සංගමය මෙයින් අවධාරණය කරන්නෙමු.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සැප්තැම්බර් 29 දින පැවැත්වීම යෝජනා කර තිබු මෙම විභාගය සැප්තැම්බර් 18 දින පැවැත්වීමට හදිසි අමෝඥ තිරීණය ගනු ලැබුවේ කාගේ උවමනාවටද? යන්නත් ඉන් බලාපොරොත්තු වුයේ කුමන අරමුණක්ද යන්නත් අමාත්‍යවරයා විසින් වහා හෙළි කළයුතු බව අප මෙයින් ඉල්ලා සිටින්නෙමු.
ඒ අනුව දිවයිනේ විශාල පිරිසකට සිදුව ඇති මෙම අසාධාරණයට සාධාරණය ඉටු කරන මෙන් වු අපගේ සාධාරණ ඉල්ලීම් පසෙකලා එළඹෙන 18 මෙම විභාගය පැවැත්වීමට බලධාරීන් කටයුතු කිරීම තරයේ හෙළා දකින අතර අප සංගමයේ දැඩි අප්‍රසාදය මෙයින් පළ කර සිටින්නෙමු.