හැටන්, පන්මූර් වතුයායේ තේදලු නෙළමින් සිටියදී දිවියෙකුගේ පහරකෑමට ලක්වූ වතුකම්කරුවන් පස්දෙනෙකු අද (02දා) දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හැටන් පොලීසිය පවසයි.
වතුකම්කරුවන් සිවුදෙනෙකු සහ වතුකම්කරු කාන්තාවක මෙලෙස රෝහල්ගත කර ඇත.
අදාළ තේවතු ආශ්රිතව දිවියන් විශාල වශයෙන් සැරිසරන බවත්, එසේ සැරිසැරූ දිවියෙකු තමන්ට පහර දුන් බවත් පහරකෑමට ලක්වූ වතුකම්කරුවෝ පවසති.
පන්මූර් වතුයායේ සැරිසැරූ දිවියා අල්ලා ගැනීම සඳහා වතුකම්කරුවන් හා හැටන් පොලීසියේ නිලධාරීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබිණි.
මෙලෙස තේවතු ආශ්රිතව සැරිසැරූ දිවියන් රැසක් විවිධ පුද්ගලයන් විසින් ඝාතනය කර තිබූ අතර, වනජීවී නිලධාරීන්ද අලිවෙඩි යොදා ගනිමින් එම දිවියන් රක්ෂිතවලට පළවා හැරීමේ මෙහෙයුමක් පසුගියදා දියත් කර තිබිණි.