දියතලාව කහගොල්ලේදී ඊයේ (21දා) අලුයම පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක සිදුවූ පිපිරීම ජීව අත්බෝම්බයක් පිපිරී යාමෙන් සිදුවූවක් බව ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ඒ.රොෂාන් ප්‍රනාන්දු මහතා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි බණ්ඩාරවෙල පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.
බසයේ සිටි යුද හමුදා සාමාජිකයෙකු බාරයේ තිබූ අත්බෝම්යක් මෙසේ පුපුරා යන්නට ඇතැයි සැකකරන බවද හෙතෙම පැවසීය.
යාපනයේ සිට බණ්ඩාරවෙලට පැමිණි බස් රථයේ මගීන් බණ්ඩාරවෙලදී අදාළ බස් රථ හිමියාටම හිමි වෙනත් බසයකින් දියතලාව කරා ප්‍රවාහනය කරමින් තිබියදී මෙම පිපිරීම සිදුවිය.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ 19දෙනෙක් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර තුවාලකරුවන් අතර යුද හමුදාවේ 7දෙනෙක් ගුවන් හමුදාවේ 5දෙනෙක් ද වූහ.