රාජපක්ෂ පාලන සමයේ රට ලස්සන නිවසක් බවට පත්කළ නමුත් වර්තමානයේ රට ණය ගැතිවී, සංවර්ධනය බිඳවැටී,ආණ්ඩුව ණය ගැනීම පමණක් සිදු කරන බව රාජපක්ෂලාගේ ආර්ථික විද්‍යාඥ කුක්කෝ කෑ කෝ ගසමින් සිටියද මහින්ද ලස්සන ගෙයක් හැදුවේ මාතෘ භූමිය නැමති ඉඩම උගස් කොට බව මහ නගර හා බස්නාහිර සංවර්ධන පිළිබඳ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(22) කළුතර නව පොදු වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන සංවර්ධනය ආදායම් උපදවන සංවර්ධනයක් බවත්, එය ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කරන, ආදායම් උපදවන ව්‍යාපෘති පමණක් වන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා, මහින්ද පාලනය තුළ උගස් කරනු ලැබූ මාතෘ භූමිය බේරාගැනීමේ වගකීම වත්මන් ආණ්ඩුවට පැවරී ඇති බව පෙන්වා දෙයි.
අද ඇතැම් අය අවුරුදු නැකැත් ගැන විවිධ අදහස් පළකරන බවත්, තෙල් ගාපු නැකත වැරදි හා එය රටට අපල බවත් ප්‍රකාශ කරති. ඒ අයට කලින් නැකැත් සෑදු ආකාරය මතක් කරදිය යුතු බව සඳහන් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,කලින් අවුරුදුවල නැකැත් හැදුවේ එක් පුද්ගලයෙකුගේ කේන්දරයට අනුව බවයි. දැන් නැකැත් හැදෙන්නෙ රටේ කේන්දරයට හා රටේ සුභ මුහුර්තයට අනුව බවත් එක පවුලක් හා එම පවුල වටා කැටි ගැසුණු දූෂිතයන්ගේ කේන්දරවලට රට ඉදිරියට ගියපු යුගය අවසන් බවද අවධාරණය කර සිටියේය.