උඩවළව ජාතික වනෝද්‍යානයේ වෙසෙන දළ ඇතෙක් වනෝද්‍යානයෙන් බැහැරව හම්බෙගමුව රතඹලාගම ප්‍රදේශයේ සැරි සරද්දී දළ දෙක ගසක සිරවී සිටියදී ගම්වාසීන්ගේ සහාය ඇතිව වනජීවී පශූ වෛද්‍යවරු සහ වනජීවී නිලධාරීන් විසින් අද (04දා) බේරාගනු ලැබීය.
අවුරුදු හතළිස් පහක් පමණ වයසැති මෙම දළ ඇතා වරින්වර උඩවළව ජාතික උද්‍යානයෙන් පිටතට පැමිණ හම්බෙගමුව, රතඹලාගම, ජනපදය වැනි ගම්මානවල වැසියන්ගේ ඉඩම්වලට පැමිණ ඒවායේ වගාවන්ට හානිකරන ඇතෙකු බවද ගම්වාසීහූ පවසති.
මෙම ඇතාව මීට දින තුනකට පෙර නිර්වින්දනය කර උගේ තුවාලයකට ප්‍රතිකාර කර ඇතිබව වනජීවී නිලධාරීහූ පැවසීය. එම ප්‍රතිකාරය ලබාදී ඇත්තේ වනෝද්‍යානයෙන් පිටත සැරිසරද්දීය. ප්රතිකාරවලින් පසුව යළි වනෝද්‍යානයට නොගොස් ගම්මානයේම සැරිසරද්දී ඇතා මේ අනතුරට පත්වී තිබේ.
ගසේ දළ පැටලී සිටි ඇතා සම්බන්ධයෙන් ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදීමෙන් පසු උඩවළව, කල්තොට සහ ගල්කොටුකන්ද වනජීවී කාර්යාලවල නිලධාරීන් සහ උඩවලව ඇත්අතුරු සෙවනේ පශූ වෛද්‍ය ප්‍රධානී පී. විජිත පෙරේරා, පී. එම්. අකලංක, වී. පී. එම්. කේ. අභයවර්ධන යන පශු වෛද්‍යවරු ඇතුළු තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇතා බේරා ගැනීමේ මෙහෙයුම ඇරඹීය.
මුලින්ම ඇතා නිර්වින්දනය කර සේලයින් ලබාදෙනු ලැබූ අතර, ඉන්පසු විදුලි කියත් උපයෝගී කරගෙන ඇතාට හානියක් නොවන ආකාරයෙන් ගසේ කොටස් කපා ඉවත් කර සිරවී සිටි ඇතා බේරාගෙන තිබේ.
උඩවලව ජාතික උද්‍යානයේ මේ ආකාරයේ දළ ඇතුන් දහයත් දොළහත් අතර කුඩා ප්‍රමාණයක් වාර්තා වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු කලාප භාර සහකාර අධ්යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතා පැවසුවේය.
අජිත්ලාල් ශාන්තඋදය