දඹුල්ල ගැන තීරණ රැසක් - නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැනත් අවධානය
ලෝක උරුම රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය වේගවත්ව සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ එම උපදේශන මණ්ඩලය අද (10දා) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
එසේම මුලික අදියරේ සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන් සඳහා තාවකාලිකව වසා තැබීමටද මෙහිදී තීරණය කර තිබේ.
දඹුල්ල සංරක්ෂණය කිරීම සඳහා අනුගමනය කරන පියවර
1. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතු සිතුවම් සංරක්ෂණ නිලධාරීන් දඹුල්ල විහාරයේ බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු සඳහා පූර්ණ වශයෙන් යෙදවීම.
2. බිතු සිතුවම් සංරක්ෂණය සඳහා ප්රවීණතාවක් උසුලන සියලුම සංරක්ෂණ විශේෂඥයන්ට ආරාධනා කර සංරක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම.
3. දඹුල්ල විහාරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව දෛනිකව මැනගැනීම සඳහා නිශ්චිත කාලයක් තුළදී අර්ද්රතාමාන සවි කිරීමට කටයුතුකරන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දීම.
4. දඹුල්ල විහාරයේ දොරටුවලින් කුඹලුන් හා වෙනත් කෘමීන් ඇතුළු වීම වැළැක්වීම සඳහා දැල් හෝ වෙනත් ආවරණ සවි කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දීම.
5. දඹුල්ල විහාරයේ ලෙන් තුළ එක්වරකට සිටිය හැකි ආගන්තුකයන් සංඛ්‍යාව ගණනය කර එය පාලනය කිරීම සඳහා ස්වයංක්‍රීය දොරටු සවි කිරීම.
6. දඹුලු විහාරය තුළ ක්‍රමවත් ආලෝක පද්ධතියක් සවි කිරීම.
7. දඹුල්ල විහාරය තුළ ක්‍රමවත් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම.
මෙම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වැයවන සමස්ත පිරිවැය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දැරීමටද එකඟතාව පළවිය.
මීට අමතරව රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවිකිරීමේ කටයුත්ත මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදුකිරීමටද පුරාවිද්‍යා උපදේශන සභාව තීරණය කළ අතර, මේ සම්බන්ධයෙන් දඹුලු විහාර පාර්ශ්වයේ ස්වාමින්වන්සේලා සමග සාකච්ඡා කර විහාරයේ සෙසු කටයුතු සඳහා අවශ්‍ය මුදල් දඹුලු ලෙන් විහාරයේ ටිකට් පත් අලෙවියෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන මුදලින් වෙන් කිරීමටද තීරණය කර ඇත.
එසේම නැගෙනහිර පුරාවිද්‍යා භූමි නිරවුල් කිරීම සඳහා වේගවත්ව මැදිහත්වීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
එහිදී විවිධ පිරිස් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පෞරාණික ආගමික සිද්ධස්ථානවල මායිම් පුරාවස්තු ආඥා පනතේ විධිවිධාන අනුව තහවුරු කිරීමට වේගවත් යාන්ත්‍රණයක් සකස් කිරීමටද එකඟතාව පළව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

