අයිස්ක්‍රීම්, බිස්කට්, චොක්ලට්, කිරි පැකට් ඇතුළු කිරි යොදා නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යවල ඩී.සී.ඩී.(D.C.D) නමැති විසකාරකය තවදුරටත් අඩංගු විය හැකි බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවයි.
පසුගිය පොසොන් සමයේදී දන්සල්වලින් ලබාදුන් අයිස්ක්‍රීම් සාම්පල් පිළිබඳව කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) විද්‍යාගාරවල කළ පරීක්ෂා කිරීම්වලදී එම අයිස්ක්‍රීම්වල මෙම ඩී.සී.ඩී. විෂකාරකය අඩංගු බවට හෙළිවී තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ පිළිබඳව වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ වනවිට භාරදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය
2012 වසරේදී මෙරටට ආනයනය කළ කිරිපිටි තොගවල DCD විෂකාරකය අඩංගු වී තිබූ බවට හෙළිවූ අතර, මේ නිසා 2013 වසරේ ජූලි මස පළමු වැනිදා සිට මෙරටට ගෙන්වන කිරිපිටිවල ඩී.සී.ඩී. විෂකාරකය තිබේදැයි පරීක්ෂා කිරීම් ආරම්භ කෙරිණි.