ශ්‍රී ලංකාව තුළ සිදුවූ ජනසංහාරයට වගකිව යුතු ප්රභාකරන් වැනි මිනිමරුවෙක් සහ ත්රස්තවාදියෙකුගේ ක්‍රියා කිසිලෙසකින් අනුමත නොකළයුතු බවත්, ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ශ්‍රී ලංකික ජාතියට කළ විනාශය සුළුකොට තැකිය නොහැකි බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා අද (22දා) නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
“සංහිඳියාව ශක්තිමත්ව ඉදිරියට ගෙනයා හැක්කේ මෙරට ජනවාර්ගික ගැටුම්වලට මුල්වූ හේතු නිවැරදිව තේරුම් ගැනීමෙන් සහ ප්‍රයෝගිකව සියලු පාර්ශ්වවල එකඟවීම මතයි. ඒ හැරුණු විට උතුරේ හෝ දකුණේ අන්තවාදීන්ට සුදු හුණු ගෑමෙන් සංහිඳියාව ඉදිරියට ගෙනයාමට තැත් කිරීම නැවතත් යුද්ධයකට අතවැනීමක්.
විශේෂයෙන්ම තිස් වසරක යුද්ධයෙන් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දුන් රටක් ලෙස කිසිදු අයුරකින් උතුරේ හෝ දකුණේ ඇතැම් දේශපාලඥයන්ට සහ අන්තවාදීන්ට ජන හදවත් අන්තවාදී අදහස් ඔස්සේ යළි පෑරවීමට ඉඩලබා නොදිය යුතුයි. තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් අන්තවාදය පතුරවන උතුරේ හෝ දකුණේ ඇතැම් දේශපාලන බලවේග ඉටුකරනු ලබන්නේ අනාගත පරපුරට යුධ ගිනි ඇවිලුන රටක් උදාකර දීමේ උත්සාහයයි.
බලය සාර්ථක ලෙස විමධ්‍යගත කිරීම තුළින් උතුරේ සහ දකුණේ ජනතාව අතර සංහිඳියාව ශක්තිමත් කිරීමේ ඓතිහාසික අවස්ථාව මේ වනවිට ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතී. ත්රස්තවාදීන් වීරයන් කිරීම රටේ ඒකීයභාවයට මහත් තර්ජනයක් වන අතර එය හෙළා දැකිය යුතුයි”