වෙසක් හා පොසොන් පොහෝ දිනයන් හි තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බවත් එම තීරණය වහාම නැවත්වන ලෙසත් ජාතික නිහදස් පෙරමුණේ නායක පාර්මේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. මන්ත්‍රීවරයා අද (30දා) නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවැසීය.
“මෙරට බෞද්ධ ජනතාව වෙසක් හෝ පොසොන් පොහොය දිනයන්හි පන්සල් ගොස් ආගමික වතාවත් සිදුකර තොරණ බැලීමට යන්නේ රාත්‍රිය උදාවී මෙන් පසුව ය. මෙරට බෞද්ධ ජනතාව, දහම් අධ්‍යාපනය සඳහා දරුවන්ට ඉඩ ලබා දීම පිණිස ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති පැවැත්වීම නතර කරන්නැයි ඉල්ලා තිබුණ ද කිසිවකු වෙසක් හෝ පොසොන් දිනයේ තොරණ ප්‍රදර්ශනය නතර කරන්නැයි ඉල්ලා නැත.
චිරාත් කාලයක් තිස්සේ මෙරට බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු තොරණ ප්‍රදර්ශනය, ජාතක කතා හා බැඳුණු ධර්ම අධ්‍යාපනය දරුවන්ට බෙදාදෙන ලද එක් ආකාරයක් විය. එබැවින් තොරණ ප්‍රදර්ශනය යනු වෙසක් හෝ පොසොන් පොහොය දිනයට නොගැළපෙන්නක් නොවේ.
එහෙත් කිසිවක් පිළිබඳව නිවැරදිව දැකීමේ හැකියාව අහිමි කර ගෙන සිටින මේ රෙජීමය බෞද්ධපේ්රමී ස්වරූපයෙන් කරනුයේ බෞද්ධයාගේ සංස්කෘතියට පහර ගැසීම ය. හිටපු ජනාධිපතිවරුන් භාවිත කරන ලද සුඛෝපභෝගී වෙඩි නොවදින වාහන හා කොටි සතුව තිබූ ශ්‍රී ලංකා හමුදාවන් භාරයට පත්කර ගනු ලැබූ නැව පසුගියදා මුහුදට අතහැරියේ ද මෙම අනුවණ රෙජීමයම ය.
වෙසක් හා පොසොන් පොහොය දිනයට තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීම ද වටිනා වාහන මුහුදට දමා සතුටු වන උමතු රෙජීමයේ තවත් ඒ පන්නයේ තීරණයකි. මෙරට බෞද්ධ ජනතාව සමච්චලයට භාජනය නොකර අදාළ අනුවණ තීරණය වහාම හකුළා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.”