තේ තහනම ඉතා ඉක්මනින් ඉවත් කරගත හැකියි
ශ්‍රී ලංකාවේ තේ සඳහා රුසියානු රජය පනවා තිබෙන තහනම ඉවත් කිරීම පිළිබඳ දෙරට අතර නිල සාකච්ඡා ලබන 27 වැනිදා රුසියාවේදී පැවැත්වෙන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති අචාර්ය සමන් විරසිංහ මහතා 'අද' පුවත්පතට ප්‍රකාශ කළේය.
එමෙන්ම, රුසියාවේ ඇස්බැස්ටස් නිෂ්පාදන තත්ත්වයන් පිළිබඳ සාකච්ඡාවක් සඳහා 12 දෙනෙකුගෙන් යුත් විශේෂ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් මේ මස 24 වැනිදා රුසියාවට පැමිණෙන බවද තානාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයන් 08 දෙනෙකු තේ තහනම පිළිබඳ සාකච්ඡා කිරීමට රුසියාවට පැමිණීමට නියමිතව ඇති බවත්, එම සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාවට පනවා ඇති තේ තහනම ඉවත් කර ගැනීමට බොහෝ දුරට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.
"ශ්‍රී ලංකාවේ තේ තහනමට ලක්වූයේ තේ බහාලුමේ වගා හානි කරන කෘමියෙකුගේ බිත්තර යම් ප්‍රමාණයක් තිබී හමුවීම නිසායි. මේ කතාව සත්‍යයක්. මා මේ පිළිබඳ රුසියාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් මුණගැසී සාකච්ඡා කළා. ඔවුන් අදාළ නිලලේඛන ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මේ කෘමියාගේ බිත්තර පැවැතීම භයානක තත්ත්වයක් බවයි. 1985 වර්ෂයේදී මේ කෘමි විශේෂය වසංගතයක් ලෙස පැතිරීමෙන් එවකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට වැඩි හානියක් රුසියාවේ වගා සඳහා සිදුව තිබෙනවා. මේ නිසා රුසියාව වහා තේ තහනම තාවකාලිකව පනවනු ලැබුවා. එහෙත් ඔවුන්ටත් මේ තහනම කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍යතාවක් පවතිනවා.
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටස් තහනම පිළිබඳ රුසියානු රජයත් විශේෂ උනන්දුවක් දක්වා තිබෙනවා. රුසියාවේ නිෂ්පාදනය කරන ඇස්බැස්ටස් රුසියානු ජනතාවත් භාවිත කරනවා. ඒ නිසා ඉන් සෞඛ්‍ය ගැටලු මතු නොවන බව ඔවුන්ගේ මතයයි. මේ නිසා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් 12 දෙනෙකුට රුසියානු රජය ආරාධනා කර තිබෙනවා රුසියාවට පැමිණ ඇස්බැස්ටස් නිෂ්පාදනාගාරවලට ගොස් ඒ පිළිබඳ පරීක්ෂා කර බැලීමට. එමෙන්ම ඔවුන් ඊට අදාළ සියලු ප්‍රමිති සහගත ලිපිලේඛන ශ්‍රී ලංකා විශේෂඥ කණ්ඩායමට ඉදිරිපත් කිරීමටත් සූදානමින් සිටිනවා.
ශ්‍රී ලංකා නියෝජිත පිරිස දෙසැම්බර් 24 වැනිදා රුසියාවට පැමිණීමට නියමිතයි. කෙසේ වුවත් තේ තහනම හා ඇස්බැස්ටස් තහනම එකම අවස්ථාවකදී මතුවූ ගැටලු දෙකක්. මේ ගැටලු දෙක එකක් බවට පත්කර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්කිරීමට ඇතැම් අය උත්සාහ දරනවා. ඒත් රුසියාව කියන්නේ අපේ දීර්ඝ කාලීන මිතුරෙක්. ඒ නිසා ඉදිරි සති දෙක තුළදී මේ ප්‍රශ්න දෙකම සුබවාදීව විසඳෙනු ඇති බව විශ්වාසයි" යැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතා වැඩිදුරටත් 'අද' පුවත්පතට සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


