ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල අඩු කිරීමට සාපේක්ෂව මෙරට ජනතාවට සහනයක් ලබාදිය හැකිද යන්න පිළිබඳව ඊයේ (27දා) පැවැති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බවත්, ඒ අනුව ඉදිරියේදී මිල අඩුවීමක් සිදුවිය හැකි බවත්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
මේ දක්වා රජය ඉන්ධන මත අයකරන බදු ඉවත් කර නොමැති බවත්, 2015 ජනාධිපතිවරණදී වත්මන් රජය ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයෙන් ඉන්ධන මත අයකරන බදු ඉවත් කිරීමට ජනතාවට පොරොන්දු වූ බවට තමා නොදන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2015/01/01 සිට 2015/09/30 දක්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් බදු වශයෙන් රජයට රුපියල් මිලියන 66,854 ක මුදලක් ගෙවා ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
ඒ අනුව තීරු බදු වශයෙන් රුපියල් මිලියන 33,223 ක්ද, දේශීය භාණ්ඩ බදු වශයෙන් රුපියල් මිලියන 26,202 ක්ද, වරාය හා ගුවන් සේවා බදු වශයෙන් රුපියල් මිලියන 5887 ක්ද, ජාතිය ගොඩනැගීමේ බදු වශයෙන් රුපියල් මිලියන 1542 ක්ද ගෙවා ඇතැයි වීරක්කොඩි මහතා සඳහන් කළේය.