“මම ඒ අවස්ථාවේ දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් සිටියේ. මම හිටි තැනට මෝටර් උණ්ඩයක් වැටුණා. ඉන් බියට පත්වූ මා එතැන තිබූ ඇඳ යටට ගියා. ඒ එක්කම මම සිටි ගොඩනැගිල්ලේ වහලෙන් කොටසක් කඩා වැටුණා.” යැයි කොස්ගම අවි ගබඩාවේ පිපිරීමේ සිද්ධියෙන් තුවාල ලබා හෝමාගම රෝහල් ගතව සිටින ආණමඩුවේ ඉඟිනිමිටිය පදිංචි කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ එම්.එස්. පත්මසිරි මහතා පවසයි.
තවදුරටත් ඒ පිළිබඳව අදහස දැක්වූ පද්මසිරි මහතා,
ඒ අවස්ථාවේ විශාල ශබ්දයක් එක්ක වෙඩි පුපුරන හඬ ඇහුණා. මුළු ප්රදේශයම දුමෙන් වැසී ගියා. හැමතැනම උණ්ඩ කෑලි විසිවෙලා වැටුණා. මම බිලට් එකට දුව යන විට මා සිටි ආසන්නයට ද උණ්ඩ ගණනාවක්ම වැටෙනවා මට දැනුණා. මම ආරක්ෂිත ක්රියාමාර්ගයක් වශයෙන් ඇඳ යටට වී සිටියා.
ඒ එක්කම වහලෙන් කොටසක් පරාලයක් මම සිටි තැනට වැටෙනවා දැනුණා. මම එතැනින් ගිහින් කන්ටේනර් පෙට්ටියක් යටට වී හිටියා. ඒ වෙලාවේ අවි ගබඩාව ගිනි ගනිමින් තිබුණේ. මම සිටි ආසන්නයේ ගොඩනැගිලිවල වීදුරු කඩාගෙන වැටුණා. මම එතැනින් දුවන විට වීදුරු කටුවලට මගේ කකුල කැපුණා.
මගේ ෂර්ට් එක ගලවලා කකුලෙ බැඳගෙන තව ඉස්සරහට දුවගෙන ගියා. පසුව මම තවත් කෙනෙක් එක්ක ගිලන් රථයකින් හෝමාගම රෝහලට ගෙනාවා. මා එක්ක ආපු අනිත් කෙනා මිය ගොස් ඇති බව පසුව දැනගන්නට ලැබුණා” යැයි සිද්ධිය විස්තර කරමින් සඳහන් කළේය.
හෝමාගම සමන්ප්රිය දොලමුල්ල