පක්ෂයේ ප්‍රතිපත්ති රකින නායකයා ආරක්ෂා කිරීමට පාක්ෂිකයන් පෙළගැසිය යුතු බවත්, තීරණාත්මක මොහොතේ සියලු දෙනා අවධියෙන් සිටිය යුතු බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසුවාය.
ඇයගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් වෙන්නප්පුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශෙරොන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ ඊයේ (04දා) සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කළාය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම ජනතාව. පක්ෂයේ ජීවය තියෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති හා එහි දර්ශනය මත. ඒ නිසා නායකයෝ කියන අය අද එන්න පුළුවන් හෙට නැතිවෙන්න පුළුවන්. ඒත් පක්ෂය හැමදාම තිබෙනවා. පක්ෂය රඳා පවතින්නේ නායකයා මත නොවෙයි, නායකයා රඳා පවතින්නේ පක්ෂය මතයි. අපේ පක්ෂයේ නායකයෝ කී පාරක් ඉතිහාසයේ වෙනස් වෙලා තියෙනවද? ඒත් පක්ෂය නැතිවෙලා නෑ.
සමහර වෙලාවට මෙම පක්ෂයේ තිබෙන වටිනා දර්ශනය, වටිනා ප්‍රතිපත්ති නායකත්වයට පත්වෙන නායකයාගේ ඔළුවෙ තියෙන දේවල් එක්ක විකෘති වෙන්න පුළුවන්. එහෙම වෙලා පක්ෂය දුර්වල කරලා, පක්ෂයේ ප්‍රතිපත්ති පාවලා දීලා ජනතා ද්‍රෝහී ලෙස කටයුතු කරපු ආකාරය අපි දැකලා තියෙනවා. ඒ වගේ තැන් තිබුණ අවස්ථාවලදී අපිට පුළුවන් වුණා ලොකු විප්ලවයක් කරලා පක්ෂයේ ප්‍රතිපත්ති විනාශ කරපු අයගෙන් පක්ෂය බේරගන්න.
බණ්ඩාරනායක මහත්මයා පක්ෂය හදද්දි ඉදිරියට ගෙන ගිය ප්‍රතිපත්ති තුළින් තවත් ශක්තිමත් වී අපිට පුළුවන් වුණා පසුගිය දින 100 තුළ රටේ ජනතාවට දැනෙන දෙයක් කරන්න. ඒ වගේම ඉදිරියට රටට හා ජනතාවට යහපත් අකාරයේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න. ඒකට අපේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වගේම එක්සත් ජාතික පක්ෂයත් සහයෝගය දුන්නා.
අපිට පුළුවන් වෙලා තියෙනවා දර්ශනයක් වැඩපිළිවෙළක් දිනවන්න. ඒක එක පුද්ගලයෙක්, පක්ෂයක් හෝ පවුලක් දිනවන්න හදපු දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් හිටපු පුද්ගලයෙක් වෙනුවට තවත් එවැනි පුද්ගලයෙක් ගේන වැඩපිළිවෙළක් නෙමෙයි.
අපි දැක්කා පසුගිය කාලේ රට ගෙන ගිය දිශාව. රටේ ජනතාවගේ අයිතීන් උදුරගෙන, රටේ නිදහස උදුරගෙන. දැන් මේක කියපුවම සමහරු අහයි බෝම්බ පිපිරෙන්නෙ නැති එකම කොයිතරම් නිදහස්ද කියලා. එයිට වඩා පීඩාවක් පසුගිය කාලේ රටේ ජනතාව වින්දා. දූෂණය ඉහවහ ගියා. නාස්තිය වැඩි වුණා. නීතිය කියන දේ ක්‍රියාත්මක වුණේ තමන්ගේ උවමනා අයට විතරයි. පාලකයෝ සුරසැප විඳිද්දි ජනතාව මොනතරම් ජීවන බරකින්ද හිටියේ. ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට කොයිතරම් අසරණ කළාද? ඒ සියලු දේවල පීඩනය නිසා තමා එහෙම හිටපු ජනතාව මේ ක්‍රමය වෙනස් කරන්න පෙළගැසුණේ. අපි කළේ ජනතාව ඉල්ලපු වෙනස අනුව නායකත්වය දීපු එක විතරයි.
අදත් අපි ඒ ජනතාව දිනවන සටනේ ඉන්නවා. සමහරවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ප්රතිගාමී බලවේග මේ පක්ෂය විවිධ පැතිවලට ගෙනයන්න උත්සාහ කරයි. නමුත් පක්ෂයට ආදරය කරන, පක්ෂයේ ප්‍රතිපත්ති වලට ගරු කරන පාක්ෂිකයන් ඉන්නකම් ඒ දේ කරන්න වෙන්නෙ නෑ.
මේ තීරණාත්මක මොහොතේ තමුන්නාන්සේලා අවදියෙන් ඉන්න ඕනේ. අපි සියලුදෙනාම පක්ෂයේ ප්‍රතිපත්ති දර්ශනය උතුම් නිර්මල වැඩපිළිවෙළක් එක්ක බද්ධ වෙන්න ඕන. ඒකේදි කවුද පක්ෂයේ නායකයා කියන එක වැදගත් නෑ. මොකද කවුරු උනත් පාක්ෂිකයා හා ප්‍රතිපත්ති රකිනවා නම් අපි ඒ නායකයාව රකින්න ඕන. අපිට පුළුවන් වෙන්න ඕන කවුද අපේ හතුරෝ කවුද අපේ මිතුරෝ කියල තේරුම් ගනිමින් අපේ වැඩපිළිවෙළත් එක්ක හොඳ ගමනක්, රට දිනවන පක්ෂය දිනවන ගමනක් යාමට"
නයිනමඩම චන්දන ප්‍රනාන්දු