තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු කිරුළු දරා 70 වැනි වසර සම්පූර්ණ කිරීම අද (09දා) එරටදී මහත් අභිමානයෙන් සමරනු ලැබීය.
බැංකොක් නගරයේදී පැවති මෙම සුවිශේෂී උත්සවය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් පැවති අතර, එහිදී, ස්වාමීන් වහන්සේලා 770 නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීමද සිදුවිය.
88 වැනි වියෙහි පසුවන භූමිබෝල් රජු පසුගිය කාලය පුරාවට රෝගාතුරව සිටීමත්, මීට දින කිහිපයකට පෙර හදිසි ශල්‍යකර්මයකට බඳුන් වීමත් නිසා මෙම උත්සවය වඩාත් ආගමික ස්වරූපයක් ගෙන තිබූ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, තම රටේ අසහාය රාජකීයයා වෙනුවෙන් ගෞරව දැක්වීමට දහස් ගණන් ජනතාව රජ මාලිගය ඉදිරිපිට රැස්ව සිටියේ රට තුළ පැවති සියලු දේශපාලන අස්ථාවරත්වයන් පරාජය කිරීමටත්, ආර්ථික අතින් රට ඉදිරියට ගෙන ඒමටත් භූමිබෝල් රජු ක්‍රියාකර තිබූ නිසාය.