“නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මම දන්නා හැටියට හිටපු ජනාධිපතිතුමාගේ ලොකු පුතා. හැබැයි එතුමා තමන්ගේ තාත්තා අගමැති කරවීමේ කිසිම රැස්වීමකට යන්නේ නැහැ. නමුත් මම පුතෙක් හැටියට මගේ තාත්තා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තියෙනව නම් මම තමයි ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් අපේ පවුලේ හය දෙනාම ඉදිරිපත් වෙනවා, තාත්තට වරදක් වෙලා තියෙනව නම්.
නමුත් නාමල් රාජපක්ෂ මහත්තයා තමන්ගේ තාත්තා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නෑ. එක්කෝ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය අනුව කටයුතු කරනවා. නැතිනම් අනිත් අය ඉදිරියට දාලා අපේ පක්ෂය කඩාකප්පල් කරන වැඩපිළිවෙලක් ඒ පිටුපස ක්‍රියාත්මක වෙනවා.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. අත්තනගල්ල වේයන්ගොඩ නිකාඩෝවත්ත ග්‍රාමයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. .
අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය කාලයේ වූ භේද වීම් අමතක කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ නැඟීමට කාලය පැමිණ ඇති බවයි. කෙසේවෙතත් මහින්ද පාර්ශ්වයේ ක්‍රියා කලාපය ඊට බාධාවක් වී ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.
“අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. බලන්න මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට උත්සාහ කරන ඒ කණ්ඩායමේ ඉන්නේ කවුද කියලා. පසුගිය කාලේ අනාථ වුණු, දේශපාලන ශක්තියක් නොමැති, ජාතිවාදය අවුස්සන, සිංහකොඩිය පවා වෙනස් කරන්න හදන පිරිසක්. මෙයින් වැඩිපිරිසක් පසුගිය කාලේ චෝදනා ලබපු මැති ඇමැතිවරු. ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නඟන්න නෙමෙයි. පක්ෂය දෙකඩ කඩලා එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙන්න.” යැයිද අර්ජුන රණතුංග මහතා පැවැසීය.