අද දින සිට ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්යය කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව කටයුතු කර ඇති බවත්, එම මීටරය මාර්ග ආරක්ෂාවට අදාළ වන්නේ කෙසේදැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ප්‍රශ්න කර සිටියි.
එහි සභාපති චිරන්ත අමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම කටයුත්ත සිදුකරනුයේ, මීටර් ව්‍යාපාර සමග සබඳතා ඇති ත්‍රිරෝද රථ සංගම්වල උවමනාව මත බවයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
“දැනට තිබෙනා මීටර් පාරිභෝගිකයා රවටා වැඩිපුර දුර වැටෙන ලෙස වෙනස් කිරීමේ හැකියාව හා ඒ සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාර තිබේ. ඇතැම් දුෂ්කර පළාත්වල ත්‍රිරෝද රථ රියදුරන් අය කරන්නේ දුරට නොව අදාළ එක් ගමනකටය, මාර්ගයේ පසුබිම අනුව, ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙසය.
එමනිසා සමස්ත ත්‍රිරෝද රථ කර්මාන්තයටම ත්‍රීවීල් මීටර් අනිවාර්ය කිරීම අගමැති වීමට සිහින දකිමින් නිදියන ඇමතිවරයා ගත් ඉතාමත් මෝඩ තීරණයක් බව අපි දැඩි ලෙස අවධාරණය කර සිටිමු. මීටර් නොමැති ත්‍රිරෝද රථවල යෑමට කිසිවකුට ජනතාවට බල කර නොහැක. එසේ යෑම හෝ නොයෑම රජයේ නියාමනයක් නොව ජනතාවගේ අයිතියකි.
මිල නියාමනයක් නොමැතිව හා වෙනස් කෙරූ මීටර් ඇති පසුබිමක මීටර් අනිවාර්ය කිරීම නිසා අවාසිය සිදුවන්නේ ජනතාවටමය. උක්ත සංගම් සමග එක්ව රජය ජනතාවට වෙනුවෙන් එය කරන්නේ නම් ඉස්සෙල්ලාම අනිවාර්ය විය යුත්තේ මීටර් සඳහා පළාත්/ප්‍රදේශ/ගමනාන්තය අනුව ත්‍රිරෝද රථවල මීටර් සඳහා මිල නියාමනයක්ය, මීටර් සඳහා ප්රමිතියක්ය.”