සිය බිරිඳ හා දරු දෙදෙනා නිදි යහනේදීම මරා පුළුස්සා දැමූ මධුර මනරංගද සිල්වා නැමැත්තාට ඇප ඉල්ලමින් ඉදිරිපත්කර ඇති පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු විමසීම එළඹෙන මස 04 වැනිදා දක්වා කල්දැමීමට අභියාචනාධිකරණය ඊයේ (04දා) තීරණය කළේය.
2012/12/17 වැනිදා රත්මලානේදී සංජනා සඳමාලි නැමැති ගුරුවරියක වන සිය බිරිඳද, අවුරුදු තුනක පුතා හා මාසයක් වයසැති සිය බිළිඳු පුතා නිදි යහනේදීම මරා පුළුස්සා දැමීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන විත්තිකරුට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඔහුගේ මව විසින් ඉදිරිපත් කර ඇති ඇප අයදුම අභියාචනාධිකරණ විනිසුරු වන ඒ.ඩබ්.ඒ සලාම් හා සුනිල් රාජපක්ෂ යන විනිසුරුවන් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එලෙස නියම කෙරිණි.