තම ගැටලුවලට ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමු කර එය විසඳා ගැනීම සඳහා කළ උද්ඝෝෂණයේදි ජනතාවට පොලීසිය ලවා ආණ්ඩුව එල්ල කළ අමානුෂික ප්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතාවගේ දෑස් වසා හානිකර ව්‍යාපෘති අරඹන විට ඒ සඳහා ජනතාව විරුද්ධ වීම සාධාරණ බවත් ඔවුහු පවසති. වගකිව යුතු ආණ්ඩුවක් නම් මේ පිළිබඳව අදාළ බලධාරීන් සමග මැදිහත් වී ගොවි ජනතාවට කරුණු අවබෝධ කිරීම හෝ හානිකර ව්‍යාපෘති නවතා දැමීම සිදුකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එහෙත් ආණ්ඩුව අධිකරණ නියෝග ලබාගෙන පොලීසිය ලවා උද්ඝෝෂණය කළ ගොවීන්ට පහර දී පනහකට අධික පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කොට අවසානයේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළ බවද ප්‍රකාශ කර තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති. එය මුලින් සිදු කළේ නම් ජනතාවට මෙවැනි ගැටලු මතුවන්නේ නොමැති බවද ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් මගින් සඳහන් කරයි.
තවද පොදු ජනතාවගේ ගැටලුවලට ඇහුම්කම් නොදෙමින් තම ගැටලු සඳහා උද්ඝෝෂණය කළ ජනතාවට අමානුෂිකව පහර දීම රටේ පැවැති සියලු ආණ්ඩුවල ජානමය ලක්ෂණයක් බවත් මේ ආණ්ඩුවද එවැනි මුග්ධ ආණ්ඩුවක් බවද ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරයි.
කැළුම් දේවින්ද