අක්මා ආබාධයකින් පෙලුණු තම මිය ගිය දරුවාගේ අක්මා බද්ධ ශල්‍යකර්මය සඳහා එකතු වූ මුදලින් රුපියල් ලක්ෂ 35ක් එවැනිම අක්මා ආබාධවලින් පෙළෙන දරුවන් දෙදෙනකුගේ ශල්‍යකර්ම සඳහා ලබාදුන් නූතන විශාකාවියක් ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේදී (21දා) හමු විය.
මේ පරිත්‍යාගශීලි කාන්තාව ගාල්ල වක්වැල්ල පදිංචි ඩබ්ලිව්.ඒ. දිනේෂා රංගනී ඇයයි.
ඇය සිය සැමියා වන අසංග ගමගේ මහතා සමග පසුගිය (18) සහ (21) යන දෙදින දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයට අවස්ථා අවස්ථා දෙකක දී පැමිණ මෙම පරිත්‍යාග සිදු කරනු ලැබුවාය.
ගාල්ල වක්වැල්ල අපේ ගම ප්‍රදේශයේ පදිංචිව සිට මියගිය සඳනෙත් ලාලිත මාස 11ක දරුවා වෙනුවෙන් ඔහුගේ මව සහ පියා විසින් එකතු කරගත් මුදලින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන රාගම ප්‍රදේශයේ පදිංචි චෙනුති සතිස්මා (මාස 8) වෙනුවෙන් ප්රදානය කිරීම 18දා සිදු විය.
සතිස්මාගේ මව වන සජීවනී විරානි හෙට්ටිආරච්චි මහත්මියට මෙම මුදල් පරිත්‍යාග කිරීම සිදු විය.
ඉන් අනතුරුව රංගනී මහත්මිය ඉකුත් 21 වැනි දිනද එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන මොනරාගල කුඹුක්කන පදංචි එච්. එම්. ඩිලානි සෙත්මිණි දැරියටද (අවු9) ඉන්දියාවේ දි සිදු කිරීමට නියමිත ශල්‍යකර්මය සදහා රුපියල් ලක්ෂ 15ක් පිරිනමනු ලැබුවාය.
පුතුගේ වියෝව පිළිබදව අදහස් දක්වමින් ඩබ්ලිව්. ඒ. දිනේෂා රංගනී මෙසේ කීවාය. "මගේ පුතා අක්මා රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන්ගෙන් මම දැන ගත්තා. ඒ සදහා රුපියල් ලකෂ 85ක් පමණ වැය වෙන බව වෛද්‍යවරු පැවසුවා.
එම අක්මා බද්ධ ශල්‍යකර්මය ඉන්දියාවේ දී සිදු කළ යුතු බවත් වෛද්‍යවරු කීවා. ඊට පසු මමත් පවුලේ අයත් පොළවල් ගානේ යමින් ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් එකතු කළත් අවශ්‍ය මුදල ලබාගත හැකි වූයේ නැහැ. පසුව මෙම සිද්ධිය විවිධ මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් පසුව අවශ්‍ය මුදල සොයා ගෙන ශල්‍යකර්මය කිරීමට සූදානමින් සිටියදී අවාසනාවන්ත ලෙස දරුවා මිය ගියා.
පුතාට රාගම රෝහලේදී ප්‍රතිකාර ගැනීමේ දි තවත් එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන දරුවන් දෙදෙනකු හඳුනා ගත්තා. එම දරුවන්ට ඉන්දියාවේ දී අක්මා බද්ධ ශල්‍යකර්මය කිරීමට නියමිතව තිබුණ මගේ දරුවා මිය ගිය නිසා එම දරුවාට ශල්‍යකර්මය කිරීමට රුපියල් ලක්ෂ 80 වැයවෙන නිසා මගේ පුතා වෙනුවෙන් එකතු වූ මුදලින් රුපියල් ලක්ෂ 35ක් මුදලක් එම දරුවන්ගේ දෙමාපියන්ට මම ලබා දුන්නා. මගේ එකම බලාපොරොත්තුව මගේ පුතාට සසරේදී කවරදාවත් මෙවැනි අකල් මරණවලට මුහුණ පෑමට සිදු නොවේවායි ප්‍රාර්ථනා කිරීමයි."