තම ජීවිතය පුදා අන් ජීවිත රැකි සොඳුරු මිනිසෙකුගේ වීරත්වය - එරංග
2017 ජාතික විරුජන සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකේය වීර වරයන්ගේ වීරත්වයේ කතාව අද සිට විශේෂාංග පිටුව ඔස්සේ මෙසේ ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු. විරුජන සම්මානය හෙවත් බුදල් හා ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබු මේ වීර කතාවේ කථා නායකයා වන එරංග විකුම්සිරි මහතා අද ජීවතුන් අතර නැත.
2016 වසරේ මැයි 17 වැනිදා සිදු වූ බරපතළම ස්වාභාවික ව්‍යසනයක් වන අරණායක සාමසාර කන්ද නාය යෑමෙන් මෙලොව හැර ගිය මේ සොඳුරු මිනිසා ඉතිහාසගත වූයේ සිය රාජකාරී බල ප්‍රදේශය තුළ පවුල් 70ක අහිංසක ජනතාවගේ ජීවිත බේරාගත් උතුම් වූ වීරයෙකු ලෙසත්, තම රාජකාරිය වගවීමෙන් ඔබ්බට ගොස් වගකීමෙන් නිසි ලෙස ඉටුකළ රාජ්‍ය නිලධාරියෙකු ලෙසත්ය.
2013 වසරේදී ආර්ථික සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වන විකුම්සිරි මහතා සේවය කළේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එළඟිපිටිය වසම භාරවය. 2016 මැයි මස 17 වැනිදා සාමසාර කන්ද නාය යන බව ඔහුට දැනගැනීමට ලැබෙන්නේ ප්‍රදේශවාසියෙකුගේ දැනුම්දීමක් අනුවය.
මේ මොහොතේ තම බල ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත වහා ගලවාගත යුතු බව අදිටන් කරගන්නා විකුම්සිරි මහතා තම සොයුරු නදීෂ මධුසංක සමග සිරිපුර ජනපදය වෙත ගොස් එහි පදිංචි පවුල් 70කට අධික ප්‍රමාණයක් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත්තේය.
අවාසනාවන්ත ලෙස සිදුවන සාමසාර කන්දෙ දෙවැනි නාය යෑමෙන් එරංග විකුම්සිරි මහතාගේ සහ ඔහුගේ සොයුරුගේ ජීවිත අහිමි වූයේ තම දිවි පරදුවට තබා ජීවිත රැසක් බේරාගත් සොඳුරු වීර වරයෙකු ලෙස ලක් ඉතිහාසයට වෙත එක්වෙමිනි.
2015 වසරේදී දිස්නා චිත්‍රමාලි මෙනවිය සමග අතිනත ගත් ඔහු මිය යනවිට ඔහුගේ එකම දරුවාගේ වයස අවුරුද්දක් වත් සම්පූර්ණ වී නොතිබුණි. මාස 03 කි.
එරංග විකුම්සිරි මහතාගේ බිරිඳ දිස්නා චතුමාලි මහත්මිය අද සිය කුඩා දරුවාද සමග තනිව ගෙවමින් සිටින්නේ දුෂ්කර වූ ජීවිතයකි. එම නිසා දිවි පරදුවට තබා තම රාජකාරිය ඉටු කළ මේ රාජ්‍ය නිලධාරියා වෙනුවෙන් වගකිවයුතු බලධාරීන් නිසි වගකීමක් ඉටුකළ යුතු බව මතක් කිරීමට කැමැත්තෙමු.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

