ශ්‍රී ලංකාවේ මැති ඇමතිවරුන්ට රජයේ වියදමින් නිල නිවාස ලබා දී තිබේ. කෙසේ වෙතත් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට නිල නිවසක් නොමැත. ඔහු ජීවත්වෙන්නේ කොළඹ තට්ටු නිවාස සංකීර්ණයකය. . ඔහු ජීවත්වෙන නිවාස සංකීර්ණය පිළිබඳව ඉඳුනි ල්උස්සගොඩ ආරච්චි නම් නිදහස් ලේඛිකාවක් සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණි.
මේ එහි උපුටා ගැනීමයි.
ලංකාවේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගැන කොතෙකුත් කතා අපි අසා ඇත්තෙමු, දැක ද ඇත්තෙමු. මේ, නිරන්තරයෙන් එලෙස අසන්නාවූ ද දකින්නාවූ ද කතාන්තරවලට වඩා වෙනස් වූ කතාවකි.
අද (2016.06.14) සවස් වරුවේ තරිඳුත්, මමත් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා කොළඹ වාසය කරන නිවස සොයා යන්නේ සම්මුඛ සාකච්ඡාවකට වෙන් කරගත් වේලාවට ඔහු හමුවීමේ අපේක්ෂාවෙනි. විපක්ෂ නායකවරයා සිටින තට්ටු නිවාස සංකීර්ණය පිහිටි මාවතේම ඔහු සිටින නිවාස සංකීර්ණය අනුමාන කළ නොහැකිව ත්‍රිරෝද රථයෙන් අපි වට කීපයක් ගියෙමු. පසුව මඟදී හමු වුණ ආරක්ෂක නිලධාරීන් පිරිසකගෙන් විමසුවෙමු. "ඔය කියන අංක තියන ගෙවල් නම් තියෙන්නේ අර කෙළවරේ, කාගෙ ගෙදර ද හොයන්නේ?" ඔවුහු විමසති. "ආර්. සම්පන්දන්ගෙ" අපි පිළිතුරු දීමු.
" ආ.. ඒ හරියෙ බලන්න.පහළ තට්ටුවෙ ගෙයක් වෙන්න ඕන" ඒ පිළිතුරෙන් අපි ඔවුන් කී ස්ථානයේ පිහිටි නිවාස සංකීර්ණයක් වෙත ගියෙමු. එහි ඉහළ මාලයේ සිට පහළට පැමිණෙන ආරක්ෂක නිලධාරියෙකු අපේ නෙතට හසුවන්නේ විපක්ෂ නායකයාගේ නිවස කුමක්දැයි සිතාගත නොහැකිව වටපිට බලද්දීම ය. සම්පන්දන් මහතා සිටින නිවස තිබෙන්නේ එහි ඉහළ මහලේ බව අප දැනගන්නේ ඔහුගෙනි.
අපි පඩිපෙල් කීපයක් පසු කරමින් තෙවැනි මහල දක්වාම ගොස් ඔහුගේ කුඩා, ඉතාම සරල වූ නිවසට ඇතුළු වුණෙමු. ඒ වන විටත් දුටු දසුන් හේතුවෙන් සිතට නැගුණු පැනයන් රැසක් අබිබවා නැගුණු පළමු පැනය නිවසේ සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් විමසුවෙමු. "ගෙදරට එන්න ලිෆ්ට් එකක් තියෙද?*වයෝවෘද්ධ අයෙකුට එවන් මහල් නිවාස සංකීර්ණයක ඉහළම මහළට පඩිපෙළ හරහා ඉහළ පහළ යාම පහසු කටයුත්තක් නොවන බව අපි දනිමු. ඊටත් වඩා ලංකාව වැනි සොඳුරු දේශයක දේශපාලන නායකයෙකු එවන් දුෂ්කරත්වයන්ට මැදි වේ යැයි අපි පහසුවෙන් නොඅදහන්නෙමු.
"ලිෆ්ට් එකක් තියනවා. අන්න අර ඈතින් පේන බිල්ඩිං එකේ" ඒ ඔහුගේ සිනා මුසු කවට පිළිතුරයි. ඉතා කුඩා එම නිවසේ ඇතුළු වූ ස්ථානයේම තිබෙන කුඩා ආලින්දයේ අපි විපක්ෂනායකවරයා අපේක්ෂාවෙන් සිටියෙමු. ඔහුත් පවුලේ සාමාජිකයන් ද සේවකයන් දෙදෙනා ද ඇතුළුව හය දෙනෙකු සඳහාම නිවසේ තිබෙනුයේ කාමර දෙකක් පමණක් බව ආරක්ෂක නිලධාරීන්ගෙන් අපි දැන ගතිමු. ඒ කාමර ද තිබෙනුයේ කුඩා නිවස මැද තවත් පඩිපෙළකින් යා යුතු ලෙසට ය.
අපේ රටේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ජීවත්වන නිවාස ගැන අප අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් තවමත් නිල නිවාස හිමි වූ බවක් හෝ ඒ පිළිබඳ විමසන බවක් පෙනෙන්නට නොමැති විපක්ෂනායකවරයා පිළිබඳවත්, ඔහු කොළඹ නගරයේ ජීවත් වන නිවසත් ඔහුගේ අල්පේච්ඡ වූ ජීවන රටාවත් ගැන අපි යමක් කිව යුතුම ය. එමෙන්ම දේශපාලන ලොව තුළ යම් යම් පුද්ගලයන් පිළිබඳ මවා තිබෙන්නා වූ ප්රතිරූපයන්ගෙන් එපිටින් තිබෙන බොහෝ දේ නොදුටු සේ කටයුතු කිරීමට තරම් සමාජය කුහක බවට පත්ව ඇත. සම්පන්දන් මහතා හමුවීමට එම නිවසට පා තැබූ පළමු මාධ්‍යවේදීන් අප නොවන බව ද අපි අදහන්නෙමු.
සටහන සහ ඡායා - ඉඳුනිල් උස්සගොඩආරච්චි -