විදේශ රටවලින් හා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාව ණය ලබාගන්නේ ඒ ණය ගෙවීමේ හැකියාව ඇති නිසා බවත්, ඔවුන් අපට ණය ලබාදෙන්නේ අපි ඒ ණය ගෙවන නිසා බවත්, මෙසේ ණය ගන්නේ බඩකට පුරවා ගැනීමට නොවන බවත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බණ්ඩාරවෙල අඹගස්දෝව පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකදීය.
'අපි ණය ගන්නේ අපිට ණය ගෙවීමේ හැකියාවක් ඇති නිසයි. ඔවුන් අපිට ණය දෙන්නෙත් අපි ණය ගෙවන නිසයි. කිසිම රටකට හෝ රජයකට භාණ්ඩාගාරයේ මුදල් පමණක් පරිහරණය කරමින් තම රට සංවර්ධනයක් කරා ගෙනයෑමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ.'
'ඒ සඳහා විශේෂයෙන් ණය හා ආධාර ලබාගත යුතුයි. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් අද අපට වඩා ණයගැතියි. ජපානය තම දළ දේශීය නිෂ්පාදනය වගේ 238% ප්‍රතිශතයක් ණයයි. අපට නීතිරීති ඉගැන්වීමට එන එංගලන්තය 105% ක් ණයයි, ඇමරිකාව 170% ක් අද ලෝකයට ණයයි. නමුත්, අපේ ණය ප්‍රතිශතය පවතින්නේ 78% කයි. ඒ වගේම, අපි ණය ගන්නෙ, ඉස්සර වාගේ බඩ කට පුරවන්න නොවෙයි. මේ රටේ සැබෑ සංවර්ධනයක් ඉටු කරන්නටයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය වසර කිහිපය තුළ මේ රටේ ඇති කළ සංවර්ධනයෙන් නගරවල වගේම ගම්වල සිදුවූ පැහැදිලි වෙනස මේ රටේ ඕනෑම කෙනෙක්ට අද පේන්න තිබෙනවා' යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.