ඉදිරියේ දී ඩොලරයේ වටිනාකම අඩුවුවහොත් සියයට 05 කින් වැඩි කළ ඖෂධ මිල යළි අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා සතොස පයාගල නව වෙළෙද සැල විවෘත කිරීමේ අවස්ථාවට අද (24දා) පෙරවරුවේ එක්වෙමිනි.
"ඩොලරයක වටිනාකම ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල සියයට 5 කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වුණා. ඒ ඖෂධ වාණිජ මණ්ඩලය සහ ඖෂධ සමාගම් කළ ඉල්ලීමකට අනුව. වසරක කාලයක් මෙම නව මිල ක්‍රියාත්මක වෙනවා.
නමුත් ඩොලරයක වටිනාකම ඉදිරියේ දී අඩු වුවහොත් යළි ඖෂධ මිල අඩු කර රෝගී ජනතාවට සහනයක් සැළසීමට සුදානම්. ඖෂධ මිල සියයට 5 කින් වැඩිවීම පිළිබදව මාධ්‍ය නිතරම කථා කරනවා.
උදාහරණයක් ලෙස රුපියල් 1 සත 30 කට අලෙවි වු පැසිටමෝල් පෙත්තක මිල සත 7 කින් වැඩි වී තිබෙනවා. නමුත් ඖෂධ මිල සියයට 85 කින් අඩු වූ විට මාධ්‍ය කථා කළේ අඩුවෙන්. එය නිර්ලඡ්ජිත මාධ්‍ය කළාවයි.”