දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ලබාගැනීම උදෙසා බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාවට කිසිසේත් එකඟ විය නොහැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළ බව බී.බී.සී.ය පවසයි.
"මේ සමස්ත යෝජනාව සමග අපට එකඟ විය නොහැකියි. කිසිසේත්ම යෝජනාවක් ගෙන ආ යුතු නැහැ" යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේ යැයි බී.බී.සී.ය පවසයි.
ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා දේශීය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
"අතුරුදන්වීම පිළිබඳ සොයා බලන කොමිසම ඔවුන්ගේ කටයුතු සිදුකරමින් යනවා. අපි මේවා සම්බන්ධයෙන් දේශීයව කටයුතු කරනවා."
ඇෆ්ගනිස්තානය, ලිබියාව හා සිරියාවේ සිදුවන දේ දෙස බැලීමේදී, ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන්නේ කුමක් දැයි ජනපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පෙරලීම මෙවැනි යෝජනාවල අරමුණදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට, "ඒක ඔබ ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ, ජනතාව මාත් සමඟ ඉන්නකන් මට ප්‍රශ්නයක් නැහැ" යනුවෙන් ජනාධිපතිවරයා පිළිතුරු ලබාදී තිබේ.
ජිනීවා යෝජනාවකදී ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඉන්දියාවේ තීරණය අප්‍රේල් මස පැවැත්වෙන මැතිවරණය හා බැඳී තිබෙන්නක් බව තමන් වටහා ගෙන සිටින බවද පවසා තිබේ.
"අපි ඔවුන්ව තේරුම් ගෙන සිටිනවා. ඔවුන්ගේ මැතිවරණය පැවැත්වෙනවා, ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ගැන සිතන්න වෙනවා" යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ යැයි බී.බී.සී.ය පවසයි.
ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර සම්බන්ධතාවයන්හි කිසිදු පලුදු වීමක් සිදු වී නොමැති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
උතුරේ ජනතාවට ලබාදිය හැකි උපරිම සහන පසුගිය වසර කිහිපය තුළ ලබා දී තිබෙන බව පවසන ජනාධිපතිවරයා, යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කර තිබෙන බවද පෙන්වා දී ඇත.
ඝාතනවලට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැතිවීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයක්ට පිළිතුරු දුන් දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සාක්ෂි නොමැතිවීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගැනීමට නොහැකිවී ඇති බවයි.
උතුරේ මහ ඇමතිවරයා ඉල්ලා සිටින පරිදි පළාතේ ප්‍රධාන ලේකම්වරයා ඉවත් කිරීමට නොහැකි බව උතුරු පළාත් සභාවේ කටයුතු පිළිබඳව කළ විමසීමකදී ජනාධිපතිවරයා පවසා ඇත.
මාර්තු මස 5 වැනිදා තමන් ජිනීවා මානව හිමිකම් කොමිසම අමතමින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශ කරන බව සාකච්ඡාවට එක්ව සිටි විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් කියා සිටි බවද, ඊට පෙර මාර්තු 4 වැනිදා තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය හමුවීමට නියමිත බවද මේ අවස්ථාවේ පෙන්වා දී ඇති බව බී.බී.සී.ය පවසයි.