ටී එන් ඒ හා ඩග්ලස් යාපනේදී ගැටෙති
යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වෙන අතරතුරදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීධරන් මහතා ඇතුළු පිරිසක් හා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් අතර සිදු වූ මත ගැටුමක් පහරදීමක් දක්වා දුරදිග යෑමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ආරම්භ වී සුළු වේලාවකින් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය පී.අයිකරනේෂන් මහතාට එල්ල වූ බෝතල් ප්‍රහාරයක් හේතුවෙන් ඔහු තුවාල ලැබීමත් සමග කමිටුව නවතා දැමීමට සිදුවිය.
යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව එහි සම සභාපතිවරුන් වන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් ආරම්භ විය.
කමිටු රැස්වීම ආරම්භ කරමින් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා රැස්වූවන් ඇමතීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මැති ඇමතිවරුන් විවේචනය කිරීම ආරම්භ කළ අතර එහිදී එම විවේචනයන්ට ප්‍රතිචාර දැක්වීමට පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලංගම් මහතා සූදානම් වූ අවස්ථාවේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් එය වැළැක්වීමට උත්සාහ දරනු ලැබීය.
එහිදී සමීපයේ සිටි උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පී.අයිකරනේෂන් මහතා විසින් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ අතර එහිදී අමාත්‍යවරයාගේ සමීපයේ සිටි අමාත්‍ය පෞද්ගලික ලේකම් වන දයානන්දන් නැමැත්තෙකු විසින් පළාත් සභා අමාත්‍ය පී.අයිකරනේෂන් හට බෝතලයකින් හිසට පහර දී පලා ගිය බවට පැවසේ.
මෙම සිදුවීමත් සමග දෙමළ ජාතික සන්ධානයේ මැති ඇමති වරුන් හා ඊ.පී.ඩී.පී.පාර්ශ්වය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැණනු අතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවද අතර මග නවතා දැමීය.
ඉන්පසු දෙමළ ජාතික සන්ධානයේ සියලුම මැති ඇමතිවරුන් යාපනයේ දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත වීමෙන් පසු අදාළ පහර දීම සිදු කළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ඔවුන් විසින් යාපනය පොලීසියටද පැමිණිලි කළේය.
බොතල් ප්‍රහාරයට ලක්වූ පී.අයිකරනේසන් මහතාගේ මුහුණ හා හිස තුවාල වී ඇති අතර ඔහුගේ කොන්ද ප්‍රදේශයටද හානි සිදුවී ඇති බව දෙමළ ජාතික සන්ධාන කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර, මේ පිළිබඳව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කරන්නේ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වෙන අතරතුර රජයට සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව උද්ඝෝෂණය කරමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීධරන් මහතා ඇතුළු පිරිසක් තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඇතුළු තිදෙනෙකුට පහර දුන් බවය.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම තුළ කලහකාරී ලෙස හැසිරෙමින් සිටි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට, සංවර්ධන ව්‍යාපෘති ගැන කතා නොකරනවා නම් එම ස්ථානයෙන් ඉවත්වී යන ලෙසට දැන්වීමෙන් පසු රජයට විරෝධය පළකර මෙම පහරදීම සිදුකළ බවද ඔහු පවසා සිටියේය.
රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මෙම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා මත මෙම පහරදීම සිදුකළ බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම පහරදීම නිසා ඊ.පී.ඩී.සී. පොයින්ට්පේදුරු සංවිධානයේ සංවිධායක රංගේෂ්වරන් මහතා හා වෙලනෙයි ප්‍ර‘දේශීය සභාවේ සභාපතිවරයා තුවාල ලැබූ බවත්, එහිදී රංගේෂ්වරන් මහතාගේ අතක අස්ථි බිඳී ගොස් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සිදුවීම පිළිබඳව යාපනය පොලීසියට පැමිණිලි කළ බවද ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳව 'අද' දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතාගෙන් කළ විමසීමේදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ සම මුලසුන හොබවන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා මුලසුනෙන් බැස රැස්වීම් ශාලාව මැදට පැමිණ තර්ජනාත්මක ආකාරයට ප්‍රකාශ සිදුකළ බවයි.
මීට අමතරව දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමට අමාත්‍යවරයාගේ සහෝදරයෙකු ඇතුළු 60 කට අධික පිරිසක් සහභාගි වී සිටි බවත්, මෙම පිරිස නීතිවිරෝධී ආකාරයට රැස්වීමට සහභාගී වී සිටි අය බවත් ඔහු පවසා සිටියේය.
අමාත්‍යවරයා රැස්වීම් ශාලාවේ මැදට පැමිණ අදහස් දක්වමින් සිටියදී අමාත්‍යවරයා සමග ගොස් සිටි 60 කට අධික පිරිසක් තමා ඇතුළු තම පක්ෂයේ සාමාජිකයන්ට පහරදුන් බවත්, මෙම පහරදීම නිසා තිදෙනෙකු තුවාල ලැබූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව %අද^ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමේදී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ සිද්ධිය පිළිබඳව යාපනය පොලීසියට ලැබුණු පැමිණිල්ලට අනුව යාපනය පොලිස් ස්ථානය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි. සිදුවීමෙන් තිදෙනෙක් තුවාල ලැබා ඇති බවට වාර්තාවන බවත් ඔහු සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ/ වවුනියාව මධුෂංඛ අමරසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

