මහාභාණ්ඩාගාරයෙන් ‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17කට ආසන්න මුදලකින් එකදු හෝ නිවසක් ඉදිනොකර එම මුදල් අවභාවිත කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ටිරාන් අලස් මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මාර්තු මස 23 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21දා) නියම කළේය.
පරිගණක සාක්ෂි සම්බන්ධයෙන් නිසි අවස්ථාවේදී විත්ති පාර්ශ්වයට දැනුම් නොදීම නිසා මෙම නඩුවේදී පරිගණක සාක්ෂි කැඳවීමට හැකියාවක් නොමැති බව දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ටිරාන් අලස් මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුවේ සාක්ෂි විභාග කිරීමට දින නියම කිරීම සඳහා කැඳවීමට නියම කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් පරිගණක සාක්ෂි කැඳවන බව මෙම නඩු විභාගය ආරම්භ කොට නිසි අවස්ථාවේදී විත්තියට දැනුම් දී නොමැති හෙයින් මෙම නඩුවේදී පරිගණක සාක්ෂි කැඳවීමට ඉඩ ලබා නොදෙන්නැයි ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ විරෝධතාව ප්රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට තීරණය කළේය.
නඩුව ලබන මාර්තු මස 23 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.