මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය සම්මත කර ගැනීමට හා ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි අපහසුතාවට ලක් කිරීමේ අරමුණ ඇතිව කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව විසින් ඉතා සංවිධානාත්මක හා ප්රචාරාත්මක ව්‍යාපාරයක් අද සිට ආරම්භ කර තිබේ.
මෙහි සමාරම්භක අවස්ථාව අද (29දා) නෙදර්ලන්තයේ පිහිටි යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය (International Criminal Court) ඉදිරිපිට දී ආරම්භ කෙරෙන බව 'අද' පුවත්පතට වාර්තාවේ.
ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය කරා ගමන් කිරීම සඳහා 'යුක්තිය සඳහා වන පා ගමන' නමින් යුත් පාගමනක් ද අද දිනයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මෙම පාගමන දින ගණනක් තිස්සේ ප්‍රධාන නගර රැසක් පසුකරමින් ගමන් කරමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ කටයුතු සඳහා අරමුදල් රැස් කිරීම හා ප්රචාරාත්මක වාසියක් ලබා ගැනීම හා එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පරිශ්‍රය වෙත කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ විශාල පිරිසක් රැස් කරවා ලෝක නියෝජිතයින්ගේ අවධානය ලබා ගැනීම මූලික අරමුණ වී ඇති බව ද වාර්තාවේ.
මෙම පා ගමනට සමගාමීව ප්‍රංශයේ සිට දෙමළ ජනයාට සහභාගී වීම සඳහා TGV සීග්‍රඝාමි දුම්රියක් මුළුමනින්ම වෙන් කරවා ගෙන ඇති අතර එම දුම්රියේ ප්‍රවේශ පත්‍ර විකිණීම ද ආරම්භ කර තිබේ. මෙම දුම්රිය මාර්තු මස 10 වන දින ජිනීවා දුම්රියස්ථානයට පැමිණෙන අතර එම දුම්රියේ පැමිණෙන්නන්ද ජිනීවා මූලස්ථානය වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබෙන පාගමනට එක් වීමට ද නියමිත බව ද වාර්තාවේ.
දැවැන්ත පෙළපාලියට, සහභාගී වන දෙමළ ජනතාව රැගත් TGV සීග්‍රඝාමි දුම්රිය ප්‍රංශයේ සිට 0800 පැයට පිටත්වීමට නියමිතව ඇත. ප්‍රංශය, නෙදර්ලන්තය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය,නෝර්වේ, ස්විට්සර්ලන්තය, කැනඩාව සහ ඇමෙරිකාවේ සිටින කොටි හිතවාදී ඩයස්පෝරාවේ පුද්ගලයින් මෙම කටයුතු සඳහා සහභාගීවීමට නියමිතව සිටින බවද වාර්තාවේ