ජාතික තිරසර කතිකාව එළැඹෙන මාර්තු මාසයේදී එළිදැක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
2030 වසර වන විට ශ්‍රී ලංකාව ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත්රයන් ඔස්සේ සපුරාගතයුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්ක සහිත ,ජාතික තිරසර කතිකාවේ, පළමු කෙටුම්පත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (20දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වා ඇත.
ආර්ථීක, සමාජයීය හා පරිසර යන ක්ෂේත්රවලට අදාළ කෘෂිකර්ම, ප්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ජලය, සාගර හා මත්ස්‍ය, නාගරික හා භෞතික සැලසුම් යන ඉලක්ක ඔස්සේ 2030 වසර වන විට ශ්‍රී ලංකාව සපුරාගත යුතු ඉලක්ක පිළිබඳ මෙහි සවිස්තරාත්මක කරුණු ඇතුළත් කර ඇත.
මෙවැනි ජාතික තිරසර කතිකාවක් රටට ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර, මෙම කෙටුම්පත ඉදිරියේදී ජනගත කර ඒ පිළිබඳ සංවාදයක් රට තුළ ඇති කිරීමටද නියමිතය.
2030 තිරසර දැක්ම සැකසීමේ ජනාධිපති විශේෂඥ කමිටුව විසින් සකසන ලද මෙම කෙටුම්පත මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇති අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ, මහාචාර්ය හේමන්ති රණසිංහ, ආචාර්ය ඩබ්.එල්. සුමතිපාල යන මහත්ම මහත්මීහු ඇතුළු විද්වත් පිරිසක් ඊට එක්ව සිටියහ.