ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් SLS 693 යටතේ ප්‍රකාශයට පත්කර තිබෙනා ජාතික කොඩිය විකෘති කර භාවිත කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සහ ජාතික කොඩියේ දිග පලළ සහ එහි සඳහන් වර්ණ, රූපවල ප්‍රමාණය නීතිගත කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් සකස් කරමින් සිටී.
SLS/693 යටතේ ජාතික කොඩියට ඇතුළත් විය යුතු දෑ පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබුණත්, ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ජාතික කොඩිය භාවිත කිරීම සහ ජාතික කොඩිය අනවශ්‍ය ආකාරයට අනවශ්‍ය ස්ථානවල භාවිත කිරීම නිසා දැනට පවතින යාවත්කාලීන කිරීමට මෙම තීරණය ගෙන තිබේ.
මේ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ, ජාතික කොඩිය සම්බන්ධයෙන් පවතින රීති සංග්‍රහය යාවත්කාලීන කර මෙම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර, අනවශ්‍ය ආකාරයට ජාතික කොඩිය භාවිත කරන්නන්ට හා ජාතික කොඩිය විකෘති කරන්නන්ට දැනට ලබාදෙන දඬුවම් ඉහළ දැමීමටද සැලසුම් කර තිබේ.
ඉන්පසුව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල පාරිභෝගික අධිකාරියට පැවරීමට සැලසුම් කර තිබෙන අතර, පාරිභෝගික අධිකාරියේ 12 වන වගන්තියට අනුව එම අධිකාරියට ජාතික කොඩිය සම්බන්ධයෙන් දැනට ලැබී තිබෙනා බලතලවලට අමතරව තවත් බලතල එකතුවීමටද නියමිතය.
මේ පිළිබඳව අද ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොසප් මයිකල් පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික කොඩියේ දිග, පලළ පිළිබඳව සහ එය භාවිත කිරීම පිළිබඳව නීති සකස් කිරීමට හා අවභාවිත කරන්නන්ට එරෙහිව දැනට ලබාදෙන දඬුවම දැඩි කිරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරන බවයි.
ඒ පිළිබඳව පළමු සාකච්ඡාව 08 වන සිකුරාදා පැවැත්වූ බවත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා තම අමාත්‍යාංශය මේ පිළිබඳව සාකච්ඡා කරන බවද හෙතෙම පවසා සිටියේය.