ජාතික ආණ්ඩුව වසර 5ක් දක්වා දීර්ඝ කළේ
ඒකාබද්ධ විපක්ෂයේ බාධා නිසායි . . .
- එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්
ජාතික ආණ්ඩුව වසර පහක් දක්වා දීර්ඝ කිරීමට සිදුවූයේ ඒකාබද්ධ විපක්ෂය නමින් කණ්ඩායමක් සිදුකරන විවිධ බාධා කිරීම් හේතුවෙන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩු පක්ෂය පරාජයට පත්වූ විට බලයට පත්වන නව ආණ්ඩුවට කටයුතු කිරීමට වසරක දෙකක කාලයක් ලබාදිය යුතු වුවද, දෙවරක් පරාජය වූ මෙම කණ්ඩායම පරාජයට පත්වූ දින සිටම බාධාකරන බව අමාත්‍යවරයා පැවසුවේ අද(27දා) මට්ටක්කුලිය සීනෝර් ආයතනයේදීය.
මෙම කණ්ඩායම පාගමන් යන බව දැනගත්තද ඒසඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයක් නොමැති අතර, කිසිදු සාකච්ඡාවක් නොකළ බවද අමාත්‍යවරයා කීය.
ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර වත්මන් ආණ්ඩුව පෙරළනවා යැයි පැවසූ පුද්ගලයාගේ මොළේ ආබාධයක් ඇති බවද පැවසූ මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
&පාගමනක් යනවා කියල අපිත් දන්නවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය විදිහට අපි ඒකට සම්බන්ධ වීමක් නැහැ. අපේ පක්ෂය ඒපිළිබඳ සාකච්ඡා කරලත් නැහැ.
විවිධ පක්ෂවල කට්ටිය එකතුවේවි. අපිට ඒක ගැටලුවක් නැහැ.
මේකණ්ඩායමේ යම් යම් ක්‍රියාමාර්ග නිසා තමයි ජාතික ආණ්ඩුව අවුරුදු පහ දක්වා යන්න වෙන්නේ. මේකරගෙන යන වැඩ සමග රටේ අස්ථාවර තත්ත්වයන් ගොඩනැගෙන්න ආවා. ආයෝජකයන්ගේ බියක් ඇතිවුණා. ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය පළුදු වුණා.
අපි දෙසරයක් පැරදුණා. සාමාන්‍යයෙන් අලුත් ආණ්ඩුවකට අවුරුද්දක දෙකක කාලයක් දෙන්න අවශ්‍යයි. පැරදුන දවසේ ඉඳලම විවිධ දේවල් කරන්න ගත්තා. ඒනිසා මේක මගදි නතර වුණොත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා දැනුණ නිසා තමයි අවුරුදු පහ යන්න තීරණය කළේ.
ඊළඟ අවුරුද්ද සමරන්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ කියලා කවුරුහරි කිව්වනම් මොළේ ආබාධයක් තියෙන කෙනෙක් කියලා තියෙන්නේ. ඒකෙනා මොළේ පරීක්ෂා කරගත්තා නම් හොඳයි.ඒ අවුරුද්ද කනකොට අපි බලාගෙන ඉන්නවා කොහොමද කන්නේ කියලා. එහෙම කියපු කෙනාට තණ කොළ ටිකක් එකතු කරල දුන්නනම් හොඳයි අවුරුදු කෑමට.
අපි පැහැදිලිවම පක්ෂය බෙදන්න කටයුතු කරන්නේ නැහැ. නමුත් හොරකම් කරපු, ස්ත්‍රී දුෂණ වලට සම්බන්ධ වූ, පගාව ගත්තු , වංචා දුෂණ වලට සම්බන්ධ කට්ටිය එකතුවෙලා වෙනම පක්ෂයක් හදාගන්න එක හොඳයි. ඒ පක්ෂයට සුදුසු නමක් තමයි අවශ්‍ය*