ඉන්දියාවේ ජයලලිතා ජයරාම් මෙනෙවිය මහඇමති වීම සම්බන්ධයෙන් උතුරු මහඇමති උතුරු සබේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
උතුරු මහ ඇමතිවරයාට ජයලලිතාගේ පත්වීම සතුටු දායක කරුණක් වුවත් පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූ ජනතාවට අමතක වූ බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.
ඊයේ පැවැති පළාත් සභා රැස්වීමේදී විග්නේෂ්වරන් මහතා පැවැසුවේ “ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ මහඇමතිනිය විදිහට හයවැනි වරටත් දිවුරුම් දුන්නා. ඒක අපිට විශාල සතුටක්. ඇයට අපේ සුභපැතුම් එක් කරනවා. තමිල්නාඩුවට හා දෙමළ ජනතාවට ඇය කළ සේවය තමයි මේ ජයග්‍රහණයට හේතුව වුණේ.” යනුවෙනි
ප්‍රධාන අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා කියා සිටියේ, ‘‘අද මේ සභාවට අමතක වෙලාද පසුගියදා මේ රටට බලපාපු ව්‍යසනයෙන් සිය ගාණක් මැරිලා, සිය ගාණක් අතුරුදහන් වෙලා, ලක්ෂ ගාණක් ජනතාව අනාථ වෙලා ඉන්නව කියලා.
එහෙම තියෙද්දි මේ අල්ලපු ගෙදර ඉන්න ජයලලිතගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු කඳුළු හලන මේ සභාවත් ශ්‍රී ලාංකිකයන් හැටියටත් දුක්වෙන්න ඕන. විශේෂයෙන්ම උතුරෙත් කිලිනොච්චියේ විශාල ජනතාවකට මේක බලපෑවා. ඒකට අපි සභාවාරය ආරම්භයේදීම කරන්න ඕන ජයලලිතගේ ජයග්‍රහණය සමරන එක නෙමෙයි. ඒ ව්‍යසනය වෙනුවෙන් අපි සියලු දෙනා එක්ව උතුරු පළාත් සභාවෙන්ම කනගාටුව ශෝකය ප්‍රකාශ කිරීමයි.”
වී.ජයතිලක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට සහාය පළකර සිටි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇන්ටනී ජෙගනාදන් කියා සිටියේ, ‘‘ජයතිලක මන්ත්‍රීවරයාගේ කතාවට මාත් එකඟයි. පීඩාවට පත් ජනතාවට දේශීයව හා විදේශීයව ආධාර පැමිණෙනවා. නමුත් අපි උතුරු පළාත් සභාවේ මොකුත් කරලා නැහැ. ඒ නිසා ඒ මන්ත්‍රීවරයගේ ප්‍රකාශය නිවැරදියි.” යනුවෙනි.