අවසන් තීන්දුවක් ගැනීමට නොවැම්බර් 27 දා වතිකානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට
අතිඋතුම් පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අවසාන තීරණය ගැනීමට වතිකානුවේ සිට පාප් වහන්සේගේ නියෝජිත කණ්ඩායමක් නොවැම්බර් 27 වැනිදා පැමිණීමට නියමිත අතර, එලෙස පැමිණෙන කණ්ඩායමේ තීරණය මත පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ. නොවැම්බර් 27 වැනිදා වතිකානුවේ සිට මෙරටට පැමිණෙන පාප් වහන්සේගේ නියෝජිත කණ්ඩායමේ සංචාරය සිදුවන කාලය තුළදී ජනවාරි මාසයේ පළමු සතියේදී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කර තිබුණහොත් ජනවාරි 13 වැනිදා සිදුවීමට නියමිත පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට එම කණ්ඩායම තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට කතෝලික පූජකවරු සඳහන් කරති.
මෙලෙස පැමිණෙන කණ්ඩායම ජනවාරි මාසයට නියමිත රජයේ මැතිවරණ කාර්යයන් වැනි ශ්‍රී ලංකාව තුළ සැලසුම්ව පවතින තීරණාත්මක වාතාවරණය හා ඊට අදාළ තත්ත්වය සහ එතැන් පටන් මාසයක කාලයක් තුළ රටේ පවතින තත්ත්වය පිළිබඳව රජයෙන් තොරතුරු විමසීමට නියමිත බවද වාර්තා වේ.
යම් ලෙසකින් එම කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණෙන කාලය තුළදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබුණහොත් රජයේ මතය විමසීමක් නොකරම සංචාරය අවලංගු කිරීමට වතිකානුව තීරණයකට පැමිණිය හැකි බවට අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ නිසා මෙරට පූජකවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන කාලයේදී කිසිදු මැතිවරණයක් නොපවත්වන ලෙසත්ය.
යම් ලෙසකින් ජනවාරි 08 වැනිදා මැතිවරණයක් පැවැත්වුවහොත් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය අනිවාර්යෙන්ම අවලංගු වී යන බවත්, මේ නිසා ශ්‍රී ලංකාවාසී කතෝලික ජනතාවට සහ ශ්‍රී ලංකාවාසීන්ට අතිඋතුම් පාප් වහන්සේ දැක බලාගැනීම සහ ආශිර්වාදය ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව අහිමි වී යන බවද කතෝලික පූජකතුමන්ලාගේ මතය වී තිබේ. කෙසේ වෙතත් මේවන විට ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියමව ඇති බවට ද වාර්තා වී තිබේ.