ජනාධිපතිකම අමතක කර පක්ෂය දිනවීමට මැතිවරණ කටයුතුවල නිරතවීම නිසා මහින්ද රාජපක්ෂ මහතා පළාත් සභා දෙකට ඉදිරිපත් වී සිටිනා අපේක්ෂයෙකුට වඩා මැතිවරණ නීති උල්ලංඝනය කර තිබෙන බවත්, මේ නිසා ජනාධිපතිකමට අමතරව දරන පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිකමටත් අගෞරව වන බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේශබන්දු කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
ඊයේ (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පැවැති කාලයේදීත් ජනාධිපතිවරුන් මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ප්රචාරක කටයුතු සිදුකළත් ඒ සියල්ලම සිදුකළේ රටේ පවතින නීතිරීතිවලට සහ මැතිවරණ නීතිරිතිවලට ගෞරව කරමින් බවද ඔහු පවසා සිටියේය.