බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා එරෙහිව, 2009 යුද්ධය අවසන් අදියරේදී යුද අපරාධ සිදුකළේ යැයි චෝදනා එල්ල කරමින් දකුණු ඇමෙරිකානු රාජ්‍යයන් හයක මානව හිමිකම් සංවිධාන එකතුවක් ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ ආකාරයෙන් ජගත් ජයසූරිය මහතාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ බ්‍රසීලය, කොලොම්බියාව, ආර්ජන්ටිනාව, චිලිය, පේරු සහ සුරිනාමේ යන දකුණු ඇමෙරිකානු රටවල් හි ක්‍රියාත්මක ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන විසිනි.
රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය මහතා පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (අගෝස්තු 28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් බී.බී.සී.ය වාර්තා කරයි.
"එක්සත් ජාතීන්ගේ වාර්තාවලද නම සඳහන් වූ මෙවැනි අයෙකුගේ ක්‍රියා පිළිවෙත සලකා බැලීමේදී ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශයකට යැවීම සැහැසි ක්‍රියාවකි. ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය මෙන්ම එහි ලතින් ඇමෙරිකානු සහකරුවන්ගේ අපේක්ෂාව ජනරාල්වරයා නඩුවට මුහුණ දෙනු දැකීමයි. නමුත් ඒ වෙනුවට අපිට දැනගන්නට ලැබුනේ ඔහු හදිසියේම කලාපයෙන් පලාගොස් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවයි" යනුවෙන් ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකාව මෙන්ම දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතිවේදිනියක වන යැස්මින් සූකා සඳහන් කළ බවද බී.බී.සී.ය වාර්තා කරයි.
"තමන් නිවැරදි යැයි ජනරාල් ජයසූරිය සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔහු කළ යුතුව තිබුනේ තනතුරේ රැඳී සිටිමින් අධිකරණ ක්‍රියාදාමයට මුහුණදීමයි. ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යයට මෙන්ම වගවීමට සැබවින්ම කැපවී සිටින්නේ නම් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට මෙය වෙලාවයි" යනුවෙන්ද ඇය සිය නිවේදනයෙන් පවසා ඇති බව බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.
ලතින් ඇමෙරිකානු සංවිධාන කිහිපයක් සමග සහයෝගීතාවයෙන් මෙම නඩුව ගොනු කිරීම සම්බන්ධීකරණය කර ඇත්තේ ස්පාඤ්ඤ නීතිවේදියකු වන කාලෝස් කස්ට්රෙසානා ෆර්නැන්ඩස් විසින් බවද සඳහන් වේ.
ඔහු, ජනරාල් විඩේලා සහ ජනරාල් පිනෝෂේට එරෙහිව 1996 දී ස්පාඤ්ඤයේ ජාතික අධිකරණයේදී නඩුවක් ඇරඹු ස්පාඤ්ඤ නීතිවේදීන් අතරින් කෙනෙකු බවත්, පසුව, ග්වාතමාලාහි, දුර්විපාක නොලබා සිටීමට එරෙහි කොමිසමේ (CICIG) ප්‍රධානියාව සිටියදී හිටපු ජනාධිපති අල්ෆොන්සෝ පොර්ටිලෝ ඇතුළු යුධ අපරාධකරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයින් ගණනාවකට අධිචෝදනා ගොනුකර ඇති බවත් බී.බී.සී. වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය පවසන්නේ 2007-9 කාලය තුළ ජනරාල් ජගත් ජයසූරිය මහතා වන්නි ආරක්ෂක ආඥාපතිව සිටි සමයේදී ඔහුගේ අණ යටතේ පැවතියේ යැයි පැවසෙන 'ජෝසෆ් කඳවුර' නම්වූ වධ කඳවුරින් පලා ආ 14 දෙනෙකුගෙන් තමන් ප්‍රකාශ එක්රැස්කොටගෙන ඇති බවද සඳහන් කර තිබේ.
වධදීම සඳහාම ගොඩ නගන ලදැයි පැවසෙන එම කඳවුර තුළ මාංචු හා දම්වැල්, රැඳවූවන් උඩු යටිකුරු කර එසවීම සඳහාවූ කප්පි, සිවිලිමේ මාංචු ලෑ හැකි දඬුවලින් සමන්විත වධකාගාර මෙන්ම භූගත රැඳවුම් කුටිද වූ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන බව බී.බී.සී.ය වාර්තා කරයි.
රාත්රියේදී රැඳවූවන් නගන විලාප ඇසුණු බවත් එය කඳවුරේ පිහිටි ජනරාල්වරයාගේ නිවස්නයටද ඇසෙන්නට ඇති බවත් වින්දිතයින් පැහැදිලි කළ බව එම සංවිධානය පවසා තිබේ. එය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හමුදාපති පදවියට පත් ජනරාල් ජයසූරිය මහතාට එරෙහිව අධිකරණ ක්රියාමාර්ගයකින් තොර ඝාතන මෙන්ම අර්බුදය අවසානයේදී භාරවූ සියගණනක් බලහත්කාරයෙන් අතුරුදන්කිරීම සම්බන්ධයෙන්ද මෙම නඩුවෙන් ඔහුට චෝදනා එල්ල කර ඇති බවයි.
මේ අතර, ජනරාල් ජගත් ජයසූරිය මහතා බ්‍රසීලයෙන් පලා ගොස් ඇත්දැයි විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහිශිනී කොලොන්නේ බී.බී.සී.ය වෙත පවසා ඇත්තේ මේ මාසය අවසානයේ ඔහුගේ නිල කාලය අවසාන වූ බවයි.
සිය ධුර කාලය අවසානයේ යළිත් සිය රට බලා පිටත් වූ ජනරාල්වරයා, බදාදා (අගෝස්තු 30දා) කොළඹට ළඟාවීමට නියමිත බවද ප්‍රකාශිකාව සඳහන් කර තිබේ.
ජනරාල්වරයා බ්‍රසීලයෙන් පිටත් වන දිනය කලින් සැලසුම් කර තිබුණු බවත්, ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු රටින් පලා ගියේ නැති බවත් මහිශිනී කොලොන්නේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එල්.ටී.ටී.ඊ. බළල් හස්ථයන් තවමත් ලොව පුරා හොල්මන් කරන බවට කදිම සාක්ෂියක් සපයන මෙම සිදුවීමද, 2009 වසරේ යුද්ධය අවසන් වීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් හමුවේ කොටුකර ගැනීමට සිදුකරන මාන බැලීමක තවත් එක් දිගහැරුමක් ලෙස විශ්ලේෂකයෝ ගෙනහැර දක්වති.