පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලි ජයග්‍රහණයක් ලබා තිබෙන බැවින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (11දා) පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ප්‍රශ්න විසඳිය නොහැකි යැයි රටේ ජනතාව බහුතරයක් පිළිගෙන තිබෙන බවත්, රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒම, බඩු මිල ඉහළ යෑම වැනි ප්‍රශ්නවලින් මිරිකී සිටින ජනතාවගේ කෝපය ඡන්දය මගින් ප්‍රකාශ කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
පළාත් පාලන මැතිවරණයකදී ආණ්ඩුව පරාජය කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂයක් විසින් මෙවන් ජයග්‍රහණයක් ලැබූ අවස්ථාවක් ඉතිහාසයේ මින් පෙර සිදු නොවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, තිස්ස විතාරණ, රාජා කොල්ලුරේ, පවිත්‍රා වන්නිආරච්චි, අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් පළ කළහ.