වසවිසවලින් තොර ගොවිතැනක් ගැන කතා කරමින් පසුගිය 06 වැනිදා සිට දින 03 ක් පුරා පැවැති වැඩසටහනට රුපියල් කෝටි 08 ක් විනාශ කර දැමූ ආණ්ඩුව, අද (06දා) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන එවැනි වැඩසටහනක් සඳහා රුපියල් තුන්කෝටි අසූ ලක්ෂයක් වියදම් කරන බව සමස්ත ලංකා ගොවිජන සමිමේලනය සඳහන් කරයි.
පසුගිය මස 06 වැනිදා සිට පැවැති දින 03 ක වැඩසටහන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේදී පැවැත්වූ බවත්, ඒ සඳහා රජය රුපියල් කෝටි 08කට අධික මුදලක් වියදමි කළ බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. එහෙත් ඒ තුළින් ගොවි ජනතාවට හෝ පාරිභෝගික ජනතාවට දීර්ඝකාලීනව කිසිදු සෙතක් සිදු නොවූ අතර, සිදු වූයේ යම් පිරිසකගේ දේශපාලනය පිමිබීම පමණක් බවද ඔහු කීය.
මේ ආකාරයේම වැඩ සටහනක් අද (06දා) දිනයේද බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන බවත්, ඒ සඳහා රුපියල් තුන්කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් වැය කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
'වසවිස නැති ජාතියක්, වකුගඩු නිවාරණය' නමැති තේමාව යටතේ මෙම වැඩසටහන පැවැත්වෙන අතර, මේ සඳහා සහභාගි වන ගොවීන් කොළඹට රැගෙන ඒම සඳහා රුපියල් ලක්ෂ 75 ක්, අලෝකය, ශබ්ද විකාශන යන්ත්‍ර සහ පසුතල සැකසීම සඳහා රුපියල් ලක්ෂ 80 ක් සහ ගොවීන්ට ආහාරපාන ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 60 ක්, සංවිධායක කමිටුවේ ආහාරපාන සඳහා රුපියල් ලක්ෂ 02 ක් සහ ආරාධිත අමුත්තන්ගේ ආහාරපාන සඳහා රුපියල් ලක්ෂ 02 ක මුදලක් වැය කිරීමට නියමිත බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
මීට අමතරව ලිත් සහ සමරු කලාප සඳහා රුපියල් ලක්ෂ 40කුත්, පෝස්ටර්, කටවුට් සඳහා රුපියල් ලක්ෂ 05 ක් හා ආරාධනා පත්‍ර සඳහා රුපියල් ලක්ෂ 02 ක මුදලක්ද, වතුර බෝතල් සඳහා රුපියල් හාරලක්ෂ අසූදහසක මුදලක්ද වියදම් කිරීමට සැලසුමි කර තිබෙන බවත් ඔහු කියා සිටියේය.
එමෙන්ම ඒ සඳහා පැමිණෙන ගොවීන්ට හැඳුනුම් පතක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 04 ක මුදලක්ද, සැරසිලි සඳහා රුපියල් ලක්ෂ 05 ක් සහ අතිරේක කඩදාසි සඳහා ලක්ෂ 10 ක මුදලක්ද වැය කරන බවට වාර්තා වන්නේ යැයිද ඔහු පවසා සිටියේය.
මෙම සියලු තොරතුරු ලිඛිතව තම සංවිධානය සතුව තිබෙන බවත්, මේ ආකාරයෙන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම තුළින් වස විස නැති රටක් හෝ වකුගඩු රෝග නිවාරණය කළ නොහැකි අතර, සිදුකළ යුතු වන්නේ බිම් මට්ටමේ සිටින ගොවීන්ට බිම් මට්ටමින්ම පහසුකම් ලබා දී අදාළ කටයුතු කිරීම බවද ජාතික සං‘විධායකවරයා කියා සිටියේය.
මෙම වැඩමුළුවට සහභාගි වන සියලු දෙනාට ජනාධිපතිවරයාගේ රුව සහිත පිඟානක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, එහෙත් එම පිඟානේ තබාගෙන ලබාදෙන ආහාර අනුභව කිරීමට කටයුතු කළහොත් එය ජනාපතිවරයාට සිදුවන අපහාසයක් බැවින් අද දිනයේ එම පිඟාන ලබානොදීමට තිරණය කර තිබෙන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.