මෛත්‍රිපාල සිරිසේන මහතා 2005 වසරේදී මහවැලි ඇමතිවරයා ලෙස සිටියදී පොළොන්නරුවේදී ඔහුව ඝාතනය කිරීම සදහා ක්ලේමෝ බෝම්බයක් ඇටවීම සදහා පැමිණ ඇතැයි කියන සිද්ධිය සම්බන්දයෙන් එල්. ටි. ටි. ඊ. සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකු වන සිව රජා ජෙනිවන් නොහොත් මුහමඩු සුල්තාන් කාදර් මොහිදීන් නොහොත් සේනත් නමැති විත්තිකරුට පොලොන්නරුව මහා අධිකරණයේ මහාධිකරණ විනුසුරු අමෙන්ද්‍ර සෙනවිරත්න මහතා විසින් බරපතල වැඩ සහිත වසර දහයක සිර දඩුවමක්ද රුපියල් දස දහසක දඩ මුදලක් අද (03 දා) නියම කළේය. විත්තිකරු දඩ මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් වසරක සිර දඩුවමක්ද නියම කෙරුණි.
යාපනය අච්චුවේලි උතුර කන්දසාමි කෝවිල් අඩි යන ලිපිනයේ පදිංචි මෙම සැකකරු 2005 වසරේදී දෙසැම්බර් මස 01 වන දින සහ 2006 අප්‍රියල් මස 23 වන දින අතර කාලය තුලදී පොලොන්නරුව හා යාපනයේදී දැනට මිය ගොස් සිටින වීරසිංහ මුදියන්සේලාගේ ප්‍රේමසිරි හා මුරලි නැමැත්තා සමග අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මරණය සිදු කිරීම හෝ එකි වරද සිදු කිරීමට අනුබල දීමට දඩුවම් ලැබීය යුතු වරදක් සිදු කල බවට චෝදනා ගොනු කරමින් නීති පතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.
පැමිණිල්ලේ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකර ඇති බවත් එය විත්තිය විසින් අභියෝගයට ලක් කර නොමැති බවත් ඒඅනුව විත්තිකරුට දඩුවම් නියම කරමින් මහාධිකරණ විනුසුරුවරයා මෙහිදී ප්‍රකාශ කොට ඇත. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දිලීප පිරීස් මහතා කියා සිටියේ යම් පුද්ගලයෙක් හෝ යම් නිලයක් තැනැත්තෙකු ඝාතනය කරන්නට ආදාර අනුබල දී කුමන්ත්‍රණය කර එය අසාර්ථක වී ඉන් වසර දහයකට පසුව එකී පුද්ගලයා අප රටේ ප්‍රධාන පුරවැසියා රාජ්‍ය නායකයා වී සිටින විට එම කුමන්ත්‍රණය කර න ලද පුද්ගලයාද යම් අධිකරණයක් මගින් නියම කරන ලද මෙම අවස්ථාව අප අධිකරණ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව බව අධිකරණය හමුවේ කියා සිටියේය.
විත්ති කරු වෙනුවෙන් නීතිඥ යු.ආර්.ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ,නීතිඥ ලලිත් ගුණසේකර මහතා පෙනී සිටියේය,