ජනපති පරාජය වුණොත් කිසිසේත් ඉතිරි ධුර කාලයේ කටයුතු කළ නොහැකියි
ජනාධිපතිවරයකුගේ ධුර කාලය ඉදිරියටත් තිබියදී කැඳවනු ලබන ජනාධිපතිවරණයකදී ධුරය දරන ජනාධිපතිවරයා පරාජය වුවහොත් කිසිසේත්ම ඉතිරි ධුර කාලය ඔහුට ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ නොලැබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා 'අද' ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
පෙරේදා පැවති මාධ්‍ය හමුවදී කිසියම් සංවිධානයක් විසින් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වුවද ඉදිරි දෙවසරක කාලය ධුරයේ කටයුතු කළ හැකි බවට ප්‍රකාශ කළද මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද මෙමගින් ජනතාවට අසත්‍ය තොරතුරු ලබාදී ඇති බවද සරත් එන්. සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයාගේ ධුරකාලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සඳහන් වන ආකාරය හෙතෙම පැහැදිලි කළේය.
ජේ.ආර්.ජයවර්ධන මහතා ව්‍යස්ථාව සකස් කිරීමේදී ජනාධිපති ධුරය දෙවතාවකට සීමාකර තිබීම ඉතා හොඳින් අධ්‍යයනය කර සිදුකළ කටයුත්තක්. ව්‍යවස්ථාවේ 31-4 ආ හි මෙලෙස සඳහන් වෙනවා.
ජනාධිපතිවරයෙකු තෝරා පත්කරගැනීම සඳහා වූ ඡන්ද විමසීමකදී එවකට ධුරය දරන ජනාධිපතිවරයා අපේක්ෂකයා නොවන්නා වූ හෝ නැවත තේරීපත් නොවන්නා වූ අවස්ථාවක ඔහුගේ ධුරකාලය ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමේ දිනයේදී අවසන් වූවා සේ සැලකිය යුත්තේය
ඉහත සඳහන් කළ ව්‍යවස්ථාවේ 31 -3 අ (ඇ) යටතේ මෙසේ සඳහන් වෙනවා. මේ අනුව ව්‍යවස්ථාව යටතේ ඡන්ද විමසීමකදී ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇතැයි ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තා, එවකට ධුරය දැරූ ජනාධිපතිවරයා නොවන්නේ නම් පත්වන තැනැත්තා ඒ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන දිනයෙන් ආරම්භ වන අවුරුදු හයක කාලයක් ධුරය දැරිය යුතුයි. පවතින ජනාධිපති ධුරය අවසන් වන්නේ සහ නව ජනාධිපතිගේ ධුරය ආරම්භ වන්නේ එකම දිනයේ එකට. මේ කියන කාරණය මේ ව්‍යවස්ථාව තුළ ඉතාම පැහැදිලිව තිබෙනවා.
ඒ වගේම ඔහුට එදිනම හෝ දින 14 ක් ඇතුළත ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට පුළුවන්. එලෙස නව ජනාධිපතිවරයෙකු ධුරයට පත්වූ වහාම ඔහු 'විධායක ජනාධිපති' ලෙස හඳුන්වනවා. යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පලුදුවන ලෙස ජනාධිපතිවරයා මැතිවරණය ක්‍රියාත්මක කර තිබෙනවා. මැතිවරණය පවත්වන විටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කටයුතු කළ යුතුයි. යම්කෙනෙක් ඒ පිළිබඳව නොදන්නවානම් ජනතාව මුළා නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතා නොකර සිටිය යුතුයි* යනුවෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

